.webp)

COLOMBO(News1st) - 2026-06-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ පහත පරිදි වේ.
ශ්‍රී ලංකාවේ වාර්තා වන මාර්ග අනතුරු හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව හා දේපල හානි ඉහළ යමින් පවතින අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන ග්‍රාමීය හා ප්‍රාදේශීය මාර්ගවල සිදුවන අනතුරු බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. එහෙත්, එම අනතුරුදායක තත්ත්වයන් ඉවත් කරමින් මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස ප්‍රාදේශීයව පවතින ආයතන ව්‍යුහයන් තුළ ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තත්ත්වය දිගින් දිගටම පවතින බව හඳුනා ගනු ලැබ තිබේ. එබැවින්, ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ග පද්ධතිය තුළ පවතින අනාරක්ෂිත සහ අවදානම් සහිත ස්ථාන සුරක්ෂිත බවට පත් කිරීම පිණිස මාර්ග සංඥා ස්ථාපිත කිරීම, ආරක්ෂක වැටවල් ඉදිකිරීම, මාර්ග සළකුණු යෙදීම, වේගය සීමා කරන බාධක යෙදීම ආදී පියවර ගැනීම සඳහා අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් හඳුනා ගෙන, පළාත් සභාවල ද අදහස් හා යෝජනා ලබා ගනිමින්, 2026 වර්ෂයට අදාළව ජාතික අයවැය මඟින් මාර්ග ආරක්ෂාව සහ රථවාහන කළමනාකරණය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන එකී මාර්ග සංවර්ධන කටයුතු සඳහා යෙදවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සබරගමුව පළාතේ පිහිටි ප්‍රධාන තෘතීයික සෞඛ්‍ය සත්කාර සපයන ආයතනය වන රත්නපුර ශික්ෂණ රෝහල මඟින් පුළුල් පරාසයක වෛද්‍ය සේවාවන් සපයන අතර, එය මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනයට සහ පර්යේෂණ දියුණුවට ද දායක වේ. 2016-07-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි එම රෝහලෙහි ළමා වාට්ටු සංකීර්ණය සඳහා පස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස මූල්‍ය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වූ දේශීය පරිත්‍යාගශීලීන් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇති අතර ඒ අනුව, මේ වන විට එකී ගොඩනැගිල්ලේ තෙවන මහල දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ. ළමා දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා නව වාට්ටු සංකීර්ණයේ සිව්වන මහල ඉදි කිරීම පිණිස මූල්‍ය සහයෝගය ලබා දීම සඳහා නැවතත් දේශීය පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී ඇත. අදාළ ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ද ලැබී තිබේ. ඒ අනුව, ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 64.15ක අරමුදල් දායකත්වය දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගනිමින්, රත්නපුර ශික්ෂණ රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයේ සිව්වන මහල 'ළමා දැඩි සත්කාර ඒකකය' ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අදාළ පරිත්‍යාගශීලීන් අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ප්ලාස්ටික් ඇතුළු විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් රට අභ්‍යන්තරයේ සිට ගංගා ඇළ දොළ ඔස්සේ සාගරය වෙත යොමු වීම මෙන්ම, ධීවර වරායයන්, ධීවර තොටුපොළවල් සහ නැංගුරම් ස්ථාන ආශ්‍රිතව ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිසි ක්‍රමවේදයක් නොමැතිව බැහැර කිරීම වැනි ක්‍රියා හේතුවෙන් සෞඛ්‍ය, සමාජීය හා පාරිසරික ගැටලු රැසක් උද්ගත ව ඇති අතර, ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය තුළ ව්‍යාප්තව පවතින සංවේදී පරිසර පද්ධති තර්ජනයට ලක් ව තිබේ. දිවයිනේ වෙරළ කලාපය තුළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ආයතන ගණනාවක් පවතින නමුත්, එම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමේ ගැටලුවට පිළියමක් වශයෙන් මේ වන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ජාතික කමිටුව සහ වෙරළබඩ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් ප්‍රාදේශීය කමිටු 84ක් ස්ථාපිත කරනු ලැබ ඇත. ඒ අනුව, වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ජාතික කමිටුවට අයත් ආයතන හා අනෙකුත් පාර්ශ්වකාර ආයතන සමඟ එක්ව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති 'වෙරළ හා ධීවර වරායයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන යෝජනාවලිය' ක්‍රියාවට නැංවීම.
එම යෝජනාවලියෙහි ඇතුළත් වගකීම් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සකසනු ලැබ ඇති ජංගම යෙදවුම (mobile app) භාවිතයට ගැනීම.
ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමට අදාළව වගකීම් පැවරෙන පරිදි 'නිෂ්පාදකයාගේ විස්තීර්ණ වූ වගකීම' යන මූලධර්මය හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත හා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ දිනකට නෞකා 400කට අධික ප්‍රමාණයක් යාත්‍රා කිරීම, වර්ෂයකට ශ්‍රී ලංකාවේ වරායන් වෙත නෞකා 5000කට අධික ප්‍රමාණයක් පැමිණීම, පවතින වරායයන් පුළුල් වීම, තෙල් ආශ්‍රිත කටයුතුවල වර්ධනය සහ ගෝලීය කාලගුණ විපර්යාසයන්හි බලපෑම හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය විසිරීමක් සිදුවීමේ හා ඒ හේතුවෙන් සමුද්‍ර පරිසර හානියක් ඇති වීමේ අවදානමක් පවතින බව නිරීක්ෂණය වී ඇත. 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා සාගර කලාපයේ එවැනි දූෂණය වීමක් වැළක්වීම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කිරීම සහ ක්‍රියාවේ යෙදවීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්යයකි. ඒ අනුව, එකී විධිවිධාන යටතේ මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි සකස් කරනු ලැබ ඇති තෙල් විසිරීමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම, අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය විසිරීමකදී ප්‍රතිචාර දැක්වීම ද ඇතුළත් කොට සංශෝධනය කරනු ලැබ තිබේ. එමෙන්ම, එකී ජාතික සැලැස්මේ ඩිජිටල් වේදිකාවෙහි (Digital Platform) පළමු අදියර ද මේ වන විට සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය හදිසි විසිරීමකදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික සැලැස්ම පරිදි කටයුතු කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයන්හි තිරසර කාර්යසාධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි 'ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය' 2012 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ තිබේ. ඒ සඳහා අන්තර්ජාතික තිරසර වාර්තාකරණ රාමුවක් වන Global Reporting Initiative (GRI)හි 2011 වර්ෂයේ තුන්වන පරපුරේ ප්‍රමිතීන් පාදක කර ගනු ලැබ ඇත. 2025 වර්ෂය වන විට අන්තර්ජාතික තිරසර වාර්තාකරණ රාමුවේ ප්‍රමිතීන් යාවත්කාලීන කරනු ලැබ ඇති බැවින් සහ වත්මන් ගෝලීය ප්‍රවණතා වන දේශගුණික විපර්යාස, තිරසර සංවර්ධන ඉලක්ක සහ පැරිස් සම්මුතියට අදාළ බැඳීම් සැලකිල්ලට ගනිමින් ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබේ. ඒ අනුව, පාරිසරික නිර්ණායක 31ක්, සමාජීය නිර්ණායක 30ක් සහ පාලන නිර්ණායක 15ක් ඇතුළුව සමස්ත නිර්ණායක 76කින් සමන්විතව අන්තර්ජාතික තිරසර වාර්තාකරණ මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට පියවර ගනු ලැබ ඇත. එසේම, ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය අනුගමනය කිරීමට එකඟතාව පළ කරනු ලබන ආයතන සඳහා වාර්තාකරණ මට්ටම් 05ක් ද එමඟින් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හා ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාව ඇතුළත් වන පරිදි සාමාජිකයන් 24 දෙනෙකුගෙන් යුතු ව ජාතික හරිත වාර්තාකරණ මෙහෙයුම් කමිටුව නැවත ස්ථාපිත කිරීමට ද පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, පරිසර අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉහත සඳහන් පරිදි ඉදිරිපත් කරන ලද යාවත්කාලීන කළ ශ්‍රී ලංකා ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සහ ඒ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ ඉඩම් කැබලි මිලියන 16ක් පමණ පවතින බවට ඇස්තමේන්තු කරනු ලැබ ඇත. එම ඉඩම් කැබලි ප්‍රමාණයෙන් මේ වන විට ඉඩම් කැබලි මිලියන 6ක් පමණ මැනුම් කර ඇති අතර, ඉන් මිලියන 2.5ක පමණ තොරතුරු අංකිත තත්ත්වයෙන් (Digitized Format) පවතී. එම දත්ත ඉඩම් තොරතුරු පද්ධතියකට ඇතුළත් කර ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කර ඇත. රජයේ ආයතන, පාර්ශ්වකරුවන් සහ මහජනතාවට නිවැරදි සහ සත්‍යාපනය කළ හැකි ඉඩම් තොරතුරු වෙත ප්‍රවිෂ්ඨවීමට ඉඩකඩ සැලසීම මඟින් ඉඩම් කළමනාකරණ කාර්යක්ෂමතාව සහ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව, වර්ෂ 1800 සිට මනින ලද දෘඪ පිටපත් ආකාරයෙන් පවතින ඉතිරි ඉඩම් කැබලි මිලියන 3.5හි තොරතුරු අංකිතකරණය කර ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් ආකර්ෂණීය නගර ආදර්ශ නගර ලෙස එ්වායේ උරුමයන් සහ අනන්‍යතාව ඉස්මතු වන අයුරින් ප්‍රතිසංවර්ධනය කිරීමටත්, එම නගර සන්නාමකරණය කිරීම තුළින් දේශීය සහ විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමටත් 2026 අයවැය ප්‍රතිපාදන මඟින් රුපියල් මිලියන 1,300ක මුදලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, අනුරාධපුරය, කතරගම, කොළඹ හා මහනුවර යන නගරවල අනන්‍යතාව සහ සුවිශේෂත්වය ඉස්මතු වන පරිදි නගර සන්නාමකරණය (City Branding) සංකල්පය පදනම් කර ගනිමින් යෝග්‍ය උපදේශක සේවා ආයතනයක් විසින් සිදු කරනු ලබන අධ්‍යයනයකට අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා 2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 325ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
එමෙන්ම, නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ විධිමත්, ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, නගර 10ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද 2026 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. එම වැඩසටහන යටතේ, යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගරවල හඳුනා ගනු ලැබ ඇති ප්‍රමුඛතාගත කරන ලද ව්‍යාපෘති 217ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, නගර සන්නාමකරණ ව්‍යාපෘතිය සඳහා 2026 අයවැය ප්‍රතිපාදන මඟින් වෙන් කරන ලද මුදලින් ඉතිරි වන රුපියල් මිලියන 975ක ප්‍රතිපාදන සහ හැටන් සහ මාතලේ යන නගර සංවර්ධනය කිරීමේ කටයුතු ද මෙම වැඩසටහන මඟින් ආවරණය වන බැවින් එම නගර සංවර්ධනය කිරීම සඳහා වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ද ඇතුළත්ව සම්පූර්ණ රුපියල් මිලියන 1,475ක් යොදා ගනිමින් 2026 වසර වෙනුවෙන් නගර 10ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ යටතේ 'මිතුරු පුරවර' නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. 'මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහපැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම' යන ප්‍රධාන අරමුණ සහිතව එම වැඩසටහන මඟින් දිවයිනේ තෝරා ගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනා ගෙන එම කාර්යය 2026 වර්ෂය තුළ අවසන් කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, 'මිතුරු පුරවර' වැඩසටහන යටතේ ආරම්භක අදියරේදී ක්‍රියාත්මක කිරීමට හඳුනා ගනු ලැබ ඇති නගර 23ක් සඳහා වන යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 581ක මුදල 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ වෙන් කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් විශාල ලෙස හානියට පත් වී ඇති අතර, මේ වන විට ආලෝකකරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක් අක්‍රීයව පවතී. එබැවින්, අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම ආලෝකකරණය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය සැලකිල්ලට ගෙන, පෑලියගොඩ, කෙරවළපිටිය, සීදුව සහ ජාඇල යන අන්තර් හුවමාරු ප්‍රදේශ මෙන්ම නව කැලණි පාලම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා නිදහස් මාර්ග කොටස් පමණක් ප්‍රථම අදියර වශයෙන් ආලෝකකරණය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම මාර්ග කොටස්වල ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම, පැකේජ 02ක් වශයෙන් රුපියල් මිලියන 1,098.50ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරා ගනු ලබන කොන්ත්‍රාත්කරුවන් මඟින් ඉටු කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සිදු කරන ලද අනභිභවනීය ජාතික මෙහෙවර කෘතවේදීව අගයනු පිණිස 2017 වසරේදී ඉදිරිපත් වූ විශේෂ අයවැය යෝජනාවක් පරිදි අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකීරීම එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මේ වන විට වසර 09ක පමණ කාලයක් ගතවී ඇති නමුත්, මෙතෙක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකි වී නොමැත. අදාළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සහ අත්‍යවශ්‍ය කාර්යාලයීය උපකරණ මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් මිලියන 226.18ක ප්‍රතිපාදන 2025 වර්ෂයේදී මහා භාණ්ඩාගාරය විසින් සලසා දී ඇති නමුත්, එම ප්‍රතිපාදනවලින් 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 141.54ක් පමණක් වැය වී තිබේ. එම ව්‍යාපෘතියේ සියලු වැඩ මෙම වර්ෂය තුළ අවසන් කිරීමට හැකි වන පරිදි රුපියල් මිලියන 113.17ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025‑02‑03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ලොට් A සහ ලොට් B වශයෙන් ව්‍යාපෘති 02කින් සමන්විත එම ව්‍යාපෘතියේ ලොට් Bහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇත. මුල්ලිකුලම් කිලෝවෝල්ට් 220/33 රැස්කිරීමේ ග්‍රිඩ් උපපොළේ ආදාන පැතිකඩ සහ එම ග්‍රිඩ් උපපොළෙහි කිලෝවෝල්ට් 220 රැහැන් බහනු 02ක් ඉදිකිරීම ඇතුළත් වන ලොට් Aහි ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ RS Infraprojects (Pvt) Ltd වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 6.04ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 499.66ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සපුගස්කන්ද විදුලි බලාගාරයේ A බලාගාරය සහ B බලාගාරය වෙත 2026/27 කාලසීමාව වෙනුවෙන් ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
සපුගස්කන්ද විදුලි බලාගාරයේ A බලාගාරය වෙත ලිහිසි තෙල් ලීටර 316,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Lanka IOC PLC වෙත රුපියල් මිලියන 392.47ක (එකතු කළ අගය මත බදු සහිත) මුදලකට පිරිනැමීම.
සපුගස්කන්ද විදුලි බලාගාරයේ B බලාගාරය වෙත ලිහිසි තෙල් ලීටර 304,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන Chevron Lubricants Lanka PLC වෙත රුපියල් මිලියන 434.86ක (එකතු කළ අගය මත බදු සහිත) මුදලකට පිරිනැමීම.
ශ්‍රී ලංකාවේ කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට සුරක්ෂිත පානීය ජල ප්‍රවේශයක් තවමත් සම්පූර්ණයෙන් ලැබී නොමැති අතර, එම තත්ත්වය රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට බලපාන ප්‍රධාන අභියෝගයක්ව පවතී. එම තත්ත්වය මගහරවා ගනිමින්, කුඩා නගර 50ක් සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ව්‍යාපෘති 300ක් හරහා අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන පවුල් 600,000කට පමණ පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති මඟින් සුරක්ෂිත, විශ්වසනීය හා තිරසර පානීය ජල සැපයුම් පද්ධති ස්ථාපනය කිරීම අරමුණු කරන අතර, ජාතික හා ජාත්‍යන්තර පානීය ජල ප්‍රමිතීන්ට අනුකූලව, ක්ලෝරිනීකරණය සහ පෙරහන් පද්ධති ඇතුළු නවීන පිරිපහදු තාක්ෂණයන් භාවිතා කරමින් ජලය පිරිපහදු කිරීමට අපේක්ෂා කරනු ලැබ තිබේ. ඒ අනුව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, යෝජිත වැඩසටහන පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කිරීම මඟින් 2027-2029 කාලසීමාව තුළ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ශීතකරණවල සහ වායුසමන ඒකකවල බහුලව භාවිත කරනු ලබන රසායනික සංයෝගයක් වන හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් මඟින් ඕසෝන් වියන ක්ෂය කිරීමේ සහ ගෝලීය උණුසුම් කිරීමේ ඉහළ විභවය හේතුවෙන් මොන්ට්‍රියෙල් සංධානය යටතේ හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් ගෝලීය වශයෙන් ක්‍රමයෙන් ඉවත් කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ද 2030 වසර වන විට එම රසායනික ද්‍රව්‍ය මාලාව අදියරගතව ඉවත් කිරීමට බැඳී සිටී. ඒ අනුව, 2026-06-06 වන දින සිට බලපැවැත්වෙන පරිදි හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් සමඟ පමණක් ක්‍රියාකරන උපකරණ හා උපාංග ආනයනය තහනම් කිරීම සඳහා සහ 2028-01-01 වන දින සිට බලපැවැත්වෙන පරිදි උපකරණ සහ උපාංග සඳහා ශීතකරණ පද්ධතියේ සංරචකයක් ලෙස භාවිත කරනු ලබන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් සමඟ පමණක් ක්‍රියාකරන සම්පීඩික ආනයනය තහනම් කිරිම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026 අංක 04 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අංක 2487/29 හා 2026-05-07 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙරට භූමි ප්‍රමාණයෙන් 2/3ක පමණ ප්‍රදේශවල වන අලි ජීවත් වන අතර, විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග දිනෙන් දින සීඝ්‍රයෙන් අවහිර වීම, අලි-මිනිස් ගැටුම් උග්‍ර වීම සඳහා ඍජුව බලපා තිබේ. එකී ගැටුම් යම් මට්ටමකින් අවම කිරීම සඳහා වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග ආරක්ෂා කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්, පාර්ශ්වකාර ආයතන සහ සංවිධාන සමඟ එක්ව වන අලින්ගේ සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීම මේ වන විට සිදු කරනු ලබයි. මොනරාගල දිස්ත්‍රික්කයේ වන අලි සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය හඳුනා ගෙන ඇති අතර, ඒ සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ද අනුමැතිය ලැබී තිබේ. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක VI ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට උඩවලව ජාතික වනෝද්‍යානය දක්වා අලි සංක්‍රමණය වන මාර්ගය, වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය ලෙස 2002 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ භූමි ප්‍රදේශය තුළ බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් හඳුනා ගෙන ඇති අතර, එම ඉඩම් මෙතෙක් සංවර්ධනය කර නොමැත. ඒ අනුව, පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
වැටහිර කන්ද ස්වභාව රක්ෂිත භූමි ප්‍රදේශය තුළ පවතින බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් වෙනුවට වනජීවී රක්ෂිතයට පිටත සුදුසු ස්ථානයකින් විකල්ප ඉඩම් ලබා දී වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය 'වන පිවිසුමක්' ලෙස නැවත ප්‍රකාශයට පත් කිරීම.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහොලන්කළ අලිමංකඩ අවහිර වන ලෙස ඉදිකර ඇති ගොඩනැගිලි ඇතුළත් ඉඩම් කොටස් වන්දි ගෙවා අත්කර ගෙන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය මත, බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආපදාවට ලක් වූවන් සවි බල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025-12-05 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. එකී හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක පැවති සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේදී හඳුනා ගන්නා ලද ගැටලුවලට පිළියම් වශයෙන් පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
නිවාස අහිමි වූ පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවස ඉදි කර ගනු ලබන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා උපරිම මාස 06ක් දක්වා ලබා දුන් මාසික ගෙවල් කුලී දීමනාව උපරිම මාස 09ක් දක්වා දීර්ඝ කිරීමට හැකිවන පරිදි අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.
ගල්, පස් හා සුන්බුන් එකතු වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවත වගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්/සහකාර කොමසාරිස් විසින් අනුමත කරනු ලබන ඇස්තමේන්තුවක් අනුව අදාළ ආයතනවල අනුමැතින් ලබා ගැනීමෙන් අනතුරුව එකී සුන්බුන් ඉවත් කර නැවත වගාවට යෝග්‍ය පරිදි සකස් කිරීමට අදාළව චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීම.
ගල් පෙරලීම් සහ පස් කඩා වැටිම් සිදු වී ඇති ස්ථාන හෝ නායයෑම් අවදානම් සහිත ස්ථානවල නායයෑම් අවදානම් අවම කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කරන පරිදි සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නායයෑම් අවම කිරීමේ වැඩසටහන මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතාවයෙන් යුතුව භාවිත කිරීම.
අවශ්‍ය වන ප්‍රතිපාදන සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම.
අධ්‍යාපනික හුවමාරුව, වෘත්තීය පුහුණුව, ඒකාබද්ධ පර්යේෂණ, ආචාර්ය මණ්ඩල සංවර්ධනය සහ දැනුම බෙදා ගැනීම ඇතුළු ක්ෂේත්‍රවල ආයතනික සහයෝගිතාව සඳහා ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය සමඟ සහයෝගිතාවක් ආරම්භ කරනු ලැබ ඇත. එම හවුල්කාරිත්වය විධිමත් කිරීම සඳහා නීතිපතිගේ නිරීක්ෂණ ද ඇතුළත් කරමින් අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
