වෙසක් උත්සවය වෙනුවෙන් ජනපතිගේ පණිවුඩය

බුදු දහමින් පෙන්වා දෙන සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට ගැලපෙනවා! - ජනපති

by Staff writer 30-05-2026 | 9:19 AM

COLOMBO(News1st) -  බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බවට බුදු දහම පෙන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ, පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතු බවයි.

මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව තම විශ්වාසය යැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ බව පැවසුවේ වෙසක් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිත යැයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.