ක්‍රිෂ් : නාමල්ට එරෙහි නඩුවට දින නියම වේ.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ජුලි 07 ආරම්භ කිරීමට දින නියම කරයි..

by Staff writer 29-05-2026 | 9:47 PM

COLOMBO(News1st) - ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි 7 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය.

නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ ඉදිරියේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද අවසන් කර නඩු විභාගය ජූලි 7 ආරම්භ කිරීමට දින නියම කළේ ය.

ඒ අනුව එදින නඩුවේ සාක්ෂි ලබා දීමට පැමිණිල්ලේ එක සහ දෙක සාක්ෂිකරුවන් වන රවීන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන අයට සිතාසි නිකුත් කල විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරාගෙන් විමසා සිටියේ සිතාසි සාමන්‍ය ක්‍රමයට නිකුත් කිරීම ප්‍රමාණවත්ද එසේත් නැතිනම් විදේශගත ක්‍රමයට සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය ද යන්නයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ සාමන්‍ය ක්‍රමයට සිතාසි නිකුත් කිරීම ප්‍රමාණවත් බවයි.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින්, ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන, සාපරාධී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයා ඉකුත් වසරේ පෙබරවාරි 5 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේ ය.

ඒ දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ විමර්ශන වලින් අනතුරුවයි.

මීට පෙර අවස්ථාවකදී මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ නම් කර අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව ඔහු ඇප මත මුදා හැරිණ.