.webp)

කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳව ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘතිය සඳහා යාපනය විශ්වවිද්‍යාලය සම්බන්ධ වීමට අදාළ සහයෝගිතා ගිවිසුම
- කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳ ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘතියක් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සමාජ පර්යේෂණ ආයතනයේ රුපියල් මිලියන 173.92ක මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු විදේශීය ආයතන 11ක් අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතය. එකී ව්‍යාපෘතිය මඟින් තිරසර සහ වඩාත් හොඳින් පුහුණුව ලත් ප්‍රජා සම්බන්ධතා සහ මැදිහත්වීමේ කණ්ඩායම් (Survivor Panels) දේශීය සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කෙරෙනු ඇත. එමඟින්, කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනයට ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය හා සම්බන්ධ සෞඛ්‍යමය ගැටලු තක්සේරු කිරීම, එහි ආර්ථික හා සාමාජීය බලපෑම් ඇගයීම, ප්රචණ්ඩත්වය වැළැක්වීමේ හා මැදිහත්වීමේ ඵලදායි උපායමාර්ග හඳුනා ගැනීම සහ ආයතන අතර දැනුම හුවමාරුව සහ ධාරිතා සංවර්ධනය පහසු කිරීම යන කාර්යයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, වසර 04ක කාලසීමාවක් සඳහා එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය විසින් අනෙකුත් අදාළ පාර්ශ්වයන් සමඟ අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම
- ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවශ්‍යතාවල ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් විදේශීය පාර්ශ්වකරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම පිණිස වන යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගත යුතුව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් ආසියානු කලාපය තුළ රක්ෂණ අධීක්ෂණ බලධාරින් අතර ඵලදායි සහයෝගිතාවක් සහ සම්බන්ධීකරණයක් සහතික කිරීම සඳහා පිහිටුවනු ලැබ ඇති, හොංකොං රක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් යුත් AIA සමූහ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇත. එම සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් හොංකොං රක්ෂණ අධිකාරිය සමඟ සම්බන්ධීකරණ ගිවිසුමකට එළඹීම අවශ්‍ය වේ. එකී ගිවිසුම මඟින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ඇති අනෙකුත් රක්ෂණ නියාමන/අධීක්ෂණ ආයතන සමඟ අධීක්ෂණ තොරතුරු ඵලදායි ලෙස හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට අවස්ථාව හිමිවනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා හොංකොං රක්ෂණ අධිකාරිය සමඟ AIA සමූහයේ සම්බන්ධීකරණ ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතියක්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් යටතේ වසර 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය මඟින් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත්වල දිනකට කිරි ලීටර 20 සිට ලීටර 100 දක්වා පරිමාවක් නිෂ්පාදනය කරන කිරි ගොවි ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් එම කිරි ගොවීන් සඳහා පුහුණු හා අධ්‍යාපනික වැඩසටහන් නිර්මාණය කිරීම, යෝග්‍ය තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, තෘණ නිෂ්පාදනය හා සැපයුම ශක්තිමත් කිරීම සහ සෞඛ්යාරක්ෂිත ලෙස කිරි නිෂ්පාදනය මෙන්ම කිරි පරිභෝජනය ඉහළ නැංවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ව්‍යාපෘතිය යටතේ අදාළ පළාත් 04න් එක් පළාතකින් දිස්ත්‍රික්ක 02 බැගින් තෝරා ගනු ලබන අතර, එම දිස්ත්‍රික්ක තුළ පිහිටි පශු වෛද්‍ය කොට්ඨාස 03 බැගින් තෝරා ගෙන, එකී පශු වෛද්‍ය කොට්ඨාසවල ආදර්ශ ගොවිපොළ 03 බැගින් වන පරිදි එකී පළාත් 04 තුළ ආදර්ශ ගොවිපොළ 24ක් ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත පරිදි වියළි කලාපයේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි නියාමන පාලනය ශක්තිමත් කිරීම පිණිස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලය පිහිටුවීම
- පෞද්ගලික අංශයේ වර්ධනය හැඩගැස්වීමේදී, ආයෝජන තීරණවලට බලපෑම් කිරීමේදී මෙන්ම සමස්ත ව්‍යාපාර තරගකාරිත්වය වැඩිදියුණු කිරීමේදී ශ්‍රී ලංකාවේ නියාමන පරිසරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙරට ආර්ථිකයේ මූලිකාංග ශක්තිමත් වුවද, පවතින නියාමන සීමාවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් කෙරෙහි අසමාන ලෙස බලපාන අතර, ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය බව කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරනු ලබන බව නිරීක්ෂණය කර තිබේ. එකී කරුණු සැලකිල්ලට ගෙන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නියාමන රාමුව පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර ඇති අතර, අදාළ පාර්ශ්වකරුවන් සමඟ පුළුල්ව පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව ජාතික නියාමන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය සකස් කරනු ලැබ ඇත. එම ක්‍රියාකාරී සැලැස්ම මඟින් ප්‍රායෝගික සහ ක්‍රියාකාරී නිර්දේශයන් ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, එකී නිර්දේශ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන කාලසීමා ඔස්සේ ප්‍රමුඛතාගත කිරීම හා අනුපිළිවෙලගත කිරීම සිදු කර තිබේ. එමෙන්ම, එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා මධ්‍යම ආයතනික යාන්ත්‍රණය ලෙස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමට යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, ගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව එම කවුන්සිලය පිහිටුවීමටත්, එහි ලේකම් කාර්යාලය ලෙස සිය අමාත්‍යාංශය නම් කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීම
- මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ. මේ වන විට මෙරට ආගාමික ශ්‍රමිකයින්ගේ සංක්‍රමණ නියාමනය කිරීම, ආයතන කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන බහුවිධ පරිපාලන ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් සිදු කරනු ලබයි. මෙරට ආගාමික ශ්‍රම සංක්‍රමණය පිළිබඳ තොරතුරු මධ්‍යගත තොරතුරු පද්ධතියකට ඇතුළත් කිරීම මඟින් විධිමත් නියාමනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එකී කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා වී තිබේ. එම ප්‍රතිපත්තිය මඟින් රැකියා අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් ඇතුළත් කර ගැනීම, ඔවුන් සේවයේ යෙදවීම, අධීක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම හා නියාමනය කිරීම සඳහා සම්බන්ධීකරණය වූ සහ විනිවිදභාවයකින් යුත් විධිමත් ජාතික රාමුවක් ස්ථාපිත කෙරෙනු ඇත. එමෙන්ම, එමඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අවස්ථා ආරක්ෂා කිරීම සහතික කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා වන ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම පිණිස කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
- වර්තමානයේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා විස්තීරණ නෛතික රාමුවක් සපයනු ලබයි. එසේ වුවද, මෙරට බුද්ධිමය දේපළ පද්ධතිය තුළ ඇතැම් ව්‍යුහාත්මක හා මෙහෙයුම් අභියෝග පවතින බව නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට අමතරව අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන කිහිපයක් විසින් බුද්ධිමය දේපළ පද්ධතිය තුළ අනුපූරක භූමිකා ඉටු කරනු ලැබුවද, එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, පැහැදිලි උපායමාර්ගික දිශානතියක් සැපයීම සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ සඵලව සංවර්ධනය කිරීම හා උපයෝජනය කිරීම පිණිස ජාතික බුද්ධිමය දේපළ ප්රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. එවැනි ප්‍රතිපත්තියක් මඟින් ජාත්‍යන්තර යහපරිචයන් කෙරෙහි නිසි සැලකිල්ලක් දැක්වීම, ජාතික අභිලාෂයන් සුරක්ෂිත කිරීම, උචිත ප්‍රතිපත්තිමය අවකාශය සංරක්ෂණය කිරීම හා නවෝත්පාදනය, දැනුම, ප්‍රචාරණය සහ මහජන සුබසිද්ධිය ප්‍රවර්ධනය කිරීම, ඇතුළුව දේශීය ප්‍රමුඛතා ඉටු කිරීම සඳහා අවකාශය සැලසීම අපේක්ෂා කෙරේ. එකී කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
- අභ්‍යවකාශ තාක්ෂණය සහ එහි භාවිතයන් ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය සහ ආර්ථික නවෝත්පාදනය වැනි තීරණාත්මක අංශ හරහා සැලකිය යුතු ප්රතිලාභ අත්කර දෙමින් ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට මේ වන විට පත්ව තිබේ. අභ්‍යවකාශ තාක්ෂණයේ දිනෙන් දින වර්ධනය වන උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒ සඳහා මෙරට තුළ ඒකාබද්ධ ජාතික රාමුවක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. එබැවින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ජාතික අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට සැලසුම් කර තිබේ. යෝජිත ප්‍රතිපත්තිය මඟින් ජාත්‍යන්තර සහයෝගිතාව විධිමත් කිරීම හා ඒ සඳහා පහසුකම් සැලසීම, ගෝලීය අභ්‍යවකාශ පාලන යාන්ත්‍රණයන් තුළ ශ්‍රී ලංකාවේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ සියලුම ජාතික අභ්‍යවකාශ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර බැඳීම්, ගිවිසුම් හා ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන බවට සහතික කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, අභ්‍යවකාශ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා විශේෂිත තාක්ෂණික දැනුම සහිත විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 වර්ෂයේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීම
- 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ජල ගාස්තු සූත්‍රය අනුව ප්‍රධාන පිරිවැය සාධකවල ඇති වන වෙනස්කම් සැලකිල්ලට ගෙන ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුව තිබේ. 2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශය මත පදනම්ව සිදු කරන ලද විශ්ලේෂණය අනුව, වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව තහවුරු වී ඇත. එබැවින්, 2026 වර්ෂයේ පළමු මාස 06 තුළ ජල විකුණුම් ඒකක පිරිවැය ඉහළ නැංවීමකින් තොරව පවත්වාගෙන යාමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ අනුව, 2026 වර්ෂයේ පළමු මාස 06 තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
2026 යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීම
- 2026 යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණ ද, එම ප්‍රමාණය හෙක්ටයාර 450,000 ‑ 500,000ක් පමණ වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර ඇත. ඒ සඳහා යූරියා පොහොර මෙට්‍රික්ටොන් 75,000ක් පමණ අවශ්‍ය වන බව ගණනය කරනු ලැබ තිබේ. රට තුළ පැවති පොහොර සංචිතවලින් මේ වන විට මෙට්‍රික්ටොන් 48,297.87ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන බෙදා හරිමින් පවතී. 2026 යල කන්නය සඳහා ස්ථාවර මිලකට පොහොර සැපයීම තහවුරු කිරීම සඳහා කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 10,200/-ක මිලකට ගොවීන් වෙත ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා දීම සඳහා 2026-04-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 2026 යල කන්නය සඳහා තවදුරටත් අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගෙන ගොවීන් වෙත සැපයීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මාතර නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ වී වගාවට සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම
- නිල්වලා ගඟ හරහා ලවණ බාධකය ඉදිකිරීමේ කාලය තුළ ගඟ අවහිර වීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා වන අනුයාත කන්න 7කදී මාතර දිස්ත්‍රික්කයේ වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදු කිරීමෙන් අනතුරුව, අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ගෙන අදාළ හානි සඳහා වන්දි ගෙවීම පිණිස 2025-07-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වන්දි ගෙවීමේ ක්‍රමවේදයන්ට අනුව පිරිවැය හා වී මිල සැලකිල්ලට ගනිමින් වන්දි මුදල් ගණනය කරනු ලැබ ඇති අතර, 2026 අයවැය මඟින් අදාළ වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1,200ක මුදලක් වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව, වන්දි ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති ගොවීන් වෙත පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
කන්නය - 2019 යල
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 40,000/-
කන්නය - 2019/20 මහ
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 46,860/-
කන්නය - 2020 යල
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 40,000/-
කන්නය - 2020/21 මහ
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 42,150/-
කන්නය - 2021 යල
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 49,901/-
කන්නය - 2021/22 මහ
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 58,272/-
කන්නය - 2022 යල
අක්කරයක් සඳහා යෝජිත වන්දි මුදල (රුපියල්) - 64,102/-
මාලඹේ‑කඩුවෙල මාර්ගය (B 263) වැඩිදියුණු කිරීම
- ජාතික අධිවේගී මාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වෙන් කර ඇති අරමුදල් උපයෝගී කර ගනිමින් මාලඹේ‑කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර 5.56ක දුර ප්‍රමාණය වැඩිදියුණු කිරීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 08ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Senarath Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 819ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මයික්‍රොසොෆ්ට් බලපත්‍ර අලුත්කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මයික්‍රොසොෆ්ට් බලපත්‍ර සහ ආශ්රිත සේවා සැපයීමේ හැකියාව සහිත යෝග්‍ය බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු හඳුනාගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 02ක් ඉදිරිපත් වී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Crayon Software Lanka (Private) Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව වසර 02ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.816ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
"Take Care ‑ සුරැකෙමු මගතොට" ව්‍යාපෘතිය - 2026‑2028 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම
- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනේ අරමුදල් භාවිත කර දිවයිනේ පාසල් 60ක් ආවරණය කරමින් සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් ‘Take Care - සුරැකෙමු මගතොට’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-05-19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එකී අනුමැතිය අනුව එම ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, එය 2026‑2028 කාලපරිච්ඡේදය තුළ තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී අංශය සමඟ සම්බන්ධීකරණය වෙමින් එක් වර්ෂයකදී පාසල් 100ක් සම්බන්ධ කර ගනිමින් වඩාත් පුළුල් ලෙස එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 833ක මුදලක් සලසා ගනිමින් 2026, 2027 සහ 2028 යන වර්ෂවලදී යෝජිත පරිදි එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'Healthy Food - Happy Life - සුවදායි දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර' ජාතික මාධ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආහාර සුරක්ෂිතතා ආකෘතියක් ප්‍රචලිත කිරීමේ අරමුණින් “සුවදායී දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර” ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුදල් භාවිත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් 2025 වසරේදී ක්‍රියාත්මක කිරීම පිණිස 2025-08-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ළමා සංවර්ධනයේ මුල් අවධියේ සිට වැඩිහිටි අවධිය දක්වා පෝෂණය, රෝග වැළැක්වීම, මානසික යහපැවැත්ම සහ පිරිසිදු ආහාර පරිභෝජනය තුළින් පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගත්, “Healthy Food-Happy Life - සුවදායී දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර” ජාතික මාධ්‍ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 600ක මුදලක් සලසා ගනිමින් 2026, 2027 සහ 2028 වර්ෂවලදී තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තරන ලදී.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් සෘජුව මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස සමාගම මඟින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම
- දේශීය අර්තාපල් ගොවීන් සාධාරණ වෙළෙඳපොළ මිලක් සහිතව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනට අර්තාපල් ආනයනය මත කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 80/-ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල අස්වනු නෙළන සමය ආරම්භයේදී, අතරමැදියන් හා තොග වෙළෙන්දන් අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 200/- සිට රුපියල් 220/- දක්වා ගොවිපොළ අලෙවි මිලක් පනවා ඇති අතර, ඉදිරි දිනවල අස්වනු පරිමාව ඉහළ යාමත් සමඟ එම මිල උච්ඡාවචනය වීමට හැකියාව පවතී. මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දේශීය සැපයුම උපරිම අයුරින් සහ උචිත පරිදි ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දේශීය අර්තාපල් ගොවීන්ගෙන් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් ඍජුවම අර්තාපල් මිල දී ගැනීමටත්, එම තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත අලෙවි කර, එම සමාගමේ සිල්ලර අලෙවි සැල් ජාලය හරහා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එක් අර්තාපල් ගොවියෙකුගෙන් උපරිම කිලෝග්‍රෑම් 1,000ක් පමණ මිල දී ගැනීමට යටත්ව, යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා යතුරු පැදි 181ක් මිල දී ගැනීම
- වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ ට්‍රැක්ටර් 09ක් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස 2026-05-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී ප්‍රසම්පාදනයේ කොටසක් වශයෙන් යතුරු පැදි 181ක් මිල දී ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන David Pieris Motor Company වෙත රුපියල් මිලියන 91.26 මුදලකට (බදු රහිත) අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වැඩබැලීමේ පදනමින් පත් කර ඇති අධ්යක්ෂ ජනරාල්වරුන් එම තනතුරු සඳහා ස්ථීරව පත්කිරීම
- මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට 2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් එවකට ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වූ එම්.කේ.සී.සේනානායක මහතා පූර්ණකාලීන වැඩබැලීමේ පදනමින් පත් කිරීමටත්, 2024-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් එවකට ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වූ පී.එම්.කේ.හෙට්ටිආරච්චි මහතා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පූර්ණකාලීන වැඩබැලීමේ පදනමින් පත් කිරීමටත් අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරින් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියට ජ්‍යෙෂ්ඨතා පදනම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් උසස් කරනු ලැබ තිබේ. ඒ අනුව, 2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, එම්.කේ.සී.සේනානායක මහතා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරටත්, පී.එම්.කේ.හෙට්ටිආරච්චි මහතා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරටත් ස්ථීර පදනමින් පත් කිරීම පිණිස මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
- රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස කටයුතු කළ කේ.ජී.එස්.නිශාන්ත මහතා 2026-04-27 දින සිට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කර ඇති බැවින්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුර මේ වන විට පුරප්පාඩු වී පවතී. ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එම්.ජී.ලලිත් ආනන්ද මහතා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
යුදමය වාතාවරණය පැවති වකවානුවේදී ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා පොලීසියේ (විශේෂ කාර්ය බලකාය ද ඇතුළත්ව) හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම
- යුදමය වාතාවරණය පැවති වකවානුවේදී ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා පොලීසියේ (විශේෂ කාර්ය බලකාය ද ඇතුළත්ව) හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම සඳහා ගත යුතු පියවරයන් සහ එවැනි සහන සැලසීම පිණිස මේ දක්වා වරින්වර නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ සියල්ල වෙනුවට එක් පොදු චක්‍රලේඛයක් නිකුත් කිරීම පිළිබඳව වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා 2025-07-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබේ. එකී කමිටුව විසින් සිය නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව 2026-05-12 දිනැතිව ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, මේ දක්වා හඳුනාගනු ලැබ ඇති පාර්ශ්වයන් වෙත ගෙවනු ලබන දීමනා සඳහා කිසිදු අගතියක් සිදු නොවන පරිදි, එම කමිටු නිර්දේශ අනුව ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට අදාළව අලුතින් හඳුනාගත් පාර්ශ්වයන් වෙත සහන හිමිගැන්වීම සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෝටර් වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන රේගු ආනයන බද්ද මත 50%ක් වූ අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් වන නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සියලු ආනයන වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, එමඟින් ජාතික ආර්ථිකය මත ඇතිවන ඍණාත්මක බලපෑම සමනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. ඒ අනුව, 2026-05-16 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාහන ආනයනය සීමා නොකර වාහන ආනයනයේදී රේගු ආඥාපනතේ විධිවිධාන අනුව දැනට අය කරනු ලබන 30%ක් වූ ආනයන තීරු බද්ද (Customs Import Duty) මත 50%ක අධිභාරයක් පැනවීම මාස 03ක කාලයක් සඳහා පමණක් වලංගු වන පරිදි බලාත්මක කරමින් ඊට අදාළ නියමය 2026-05-15 දිනැති අංක 2488/56 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව, 2026-05-15 දිනැති නියමය 2026-05-16 දිනෙන් පසුව වාහන ආනයනය සඳහා විවෘත කරනු ලබන ණයවර ලිපිවලට පමණක් අදාළ වන අතර, එමඟින් ඊට පෙර වාහන ආනයනය සඳහා විවෘත කරනු ලැබ ඇති ණයවර ලිපිවලට කිසිදු බලපෑමක් ඇති නොවේ.
එසේම, 2026-05-17 දිනැතිව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අංක 2488/69 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින්, 2026-05-15 දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළව ආනයනය කිරීමට නියමිත වාහන සංඛ්‍යාව, වාහනය හඳුනා ගැනීමේ අංකය, වාහනයේ විස්තරය හෝ වාහනයේ තාක්ෂණික පිරිවිතරයන් යන එකක් හෝ කිහිපයක් 2026-05-15 දිනෙන් පසුව සංශෝධනය කරනු ලැබුවහොත්, ඉහත කී අධිභාරය එකී වාහන සඳහා අදාළ කරමින් නියමයක් ද නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබ ඇති වාහනවල මිල ගණන් වෙනස් නොවන අයුරින් සහ ඉදිරි මාස 03ක කාලය තුළ වාහන ආනයනය සීමාවන අයුරින් සිදු කරනු ලැබ ඇති ඉහත සඳහන් අධිභාර පැනවීමට සහ වාහන ආනයනය විධිමත් කිරීමට අදාළ නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
