දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට පණිවුඩයක්...

දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටුවිගස දැනුම් දෙන්න, දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි...

by Staff writer 18-05-2026 | 8:02 AM

COLOMBO (News 1st) - දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටුවිගස දැනුම් දෙන්නැයි, දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ පැවසුවේ, එවැනි ක්‍රියා 1971 මහජන පැමිණිලි අංශයට දැනුම් දිය හැකි බවයි.

දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බව, ඔහු සඳහන් කළේ ය.

මාධ්‍ය ප්‍රකාශක, ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ පැවසුවේ පොදු දේපල ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාටම වගකීමක් පැවරී ඇති බවයි.

මේ අතර වනවාසල ප්‍රදේශයේදී දුම්රිය පීලිපැනීමට හේතුවූ දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සහ මීලදී ගැනීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පෙරේදා (16) අළුයම පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රිය වනවාසල හා කැලණිය දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්ව එම අනතුර සිදුවිය.

පීලිපැනීමත් සමග එහි එක් මැදිරියක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරළී ගිය අතර, අනතුර හේතුවෙන් අසල නවතා තිබූ මෝටර් රථයකට ද හානි සිදුව තිබිණි.

මේ අතර දුම්රිය මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත් එම මාර්ගයේ දුම්රිය ධාවනය අද දිනයේ සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.