.webp)

සංචාරක පාරාදීසයක් වන මාලදිවයින දැඩි කම්පනයකට පත් කරමින්, එරට ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සහ මාරාන්තිකම කිමිදුම් අනතුරෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලේ අගනුවරින් කිලෝමීටර් 100ක් දකුණින් දිය යට පිහිටි අතිශය අවදානම් ගුහා පද්ධතියක් ගවේෂණය කිරීමට ගොස් අතුරුදන් වූ ඉතාලි ජාතිකයන් පස්දෙනා සෙවීමේ මහා මෙහෙයුමක නිරතව සිටි මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ (MNDF) විශේෂ කිමිදුම්කරුවෙකු ද මෙලෙස ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස සිරුරු සෙවීමේ මෙහෙයුම අතරතුර ඇතිවූ ශාරීරික සංකූලතාවලින් මියගොස් ඇත්තේ මාලදිවයින් වෙරළාරක්ෂක බලකායට අනුයුක්තව සේවය කළ, වයස අවුරුදු 34ක් වූ ස්ටාෆ් සර්ජන්ට් (Staff Sergeant) මොහොමඩ් මහ්දී (Mohamed Mahdhee) නමැති හමුදා නිලධාරියෙකි.
• මැයි 14 (බ්‍රහස්පතින්දා): ඉතාලි ජාතිකයන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ‘MV Duke of York’ නමැති සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවේ සිට වාවු අතොළුවේ (Vaavu Atoll) ‘අලිමතා’ (Alimathaa) දූපත ආශ්‍රිතව මීටර් 50ක් පමණ ගැඹුරු දිය යට ගුහාවක් ගවේෂණය කිරීමට මුහුදට බැස ඇත. එදින පස්වරුවේ ඔවුන් යළි මතුපිටට නොපැමිණීම හේතුවෙන් අතුරුදන් වී ඇති බවට නිල වශයෙන් වාර්තා විය.
• මැයි 15 (සිකුරාදා): මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය සහ පොලිසිය එක්ව දැඩි කැළඹිලි සහිත කාලගුණය මධ්‍යයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේය. එදින සවස 6.13 ට පමණ ගුහාවේ මුඛය අසල තිබී පළමු ඉතාලි ජාතිකයාගේ සිරුර සොයාගැනුණි. මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) ද එදිනම මෙහෙයුම් සිදුවන ස්ථානයට ගොස් ආරක්ෂක අංශ මුහුණ දෙන තත්ත්වය නිරීක්ෂණය කළේය.
• මැයි 16 (සෙනසුරාදා): කුණාටු සහිත කාලගුණය නිසා තාවකාලිකව නැවතුණු මෙහෙයුම් සෙනසුරාදා උදෑසන නැවත ආරම්භ විය. හමුදා කිමිදුම්කරුවන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීටර් 60ක් ගැඹුරට ගොස් කාමර 3කින් යුත් මෙම දිය යට ගුහාවේ පළමු කාමර දෙක පරීක්ෂා කළහ. ඔවුන් නැවත මුහුදු මතුපිටට පැමිණීමේදී ස්ටාෆ් සර්ජන්ට් මහ්දී අතුරුදන්ව ඇති බව අනෙක් සාමාජිකයන්ට වැටහී ඇත. වහාම ක්‍රියාත්මක වූ සහායක කණ්ඩායම් නැවත මුහුදට බැස ඔහුව සිහිසුන්ව සිටියදී සොයාගෙන මාලේ අගනුවර රෝහලට ඇතුළත් කළ ද, අධික පීඩන වෙනස්වීම් හේතුවෙන් ඇතිවන සංකූලතාවක් (Decompression Sickness - DCI) නිසා ඔහු මියගියේය. සෙනසුරාදා රාත්‍රියේම ජනාධිපති මුයිසුගේ සහභාගීත්වයෙන් යුතුව ඔහුගේ දේහය පූර්ණ හමුදා ගෞරව සහිතව මිහිදන් කෙරිණි.
• මැයි 17 (ඉරිදා-අද): තවදුරටත් ජීවිත අවදානම් ඇතිවීම වැළැක්වීම සඳහා මාලදිවයින් ආරක්ෂක අංශ විසින් දේශීය කිමිදුම් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත. අනතුරට පත් ගුහාවේ තෙවැනි මෙන්ම අතිශය පටු කාමරය තුළ සිරවී ඇතැයි විශ්වාස කෙරෙන ඉතිරි සිරුරු 4 ගොඩගැනීම සඳහා අද (17) දිනයේ ෆින්ලන්තයෙන් (Finland) පැමිණෙන ගැඹුරු මුහුදු ගුහා කිමිදුම් විශේෂඥයන් (Cave Diving Specialists) තිදෙනෙකු සහ ඉතාලි විශේෂඥයන් දෙදෙනෙකු මෙහෙයුමට එක්වීමට නියමිතය.
මෙම අනතුරින් මියගිය ඉතාලි ජාතිකයන් පස්දෙනා එරට ජෙනෝවා විශ්වවිද්‍යාලයට (University of Genoa) සෘජුව සම්බන්ධ පිරිසක් බව ඉතාලි විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි:
1. ආචාර්ය මොනිකා මොන්ටෙෆැල්කෝන් (51): ජෙනෝවා විශ්වවිද්‍යාලයේ සාගර පාරිසරික විද්‍යාව පිළිබඳ ප්‍රකට මහාචාර්යවරියකි. (ඇය 2004 සුනාමි ව්‍යසනය සිදුවන අවස්ථාවේ දකුණු ආසියාතික කලාපයේ කිමිදුම් කටයුත්තක නිරතව සිට දිවි බේරාගත්තියකි).
2. ජෝර්ජියා සොමකාල් (23): මහාචාර්ය මොනිකාගේ දියණිය.
3. මුරියෙල් ඔඩෙනිනෝ: විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිලධාරිනියක්.
4. ෆෙඩරිකෝ ගුවල්ටියෙරි: මෑතකදී උපාධිය ලැබූ සාගර ජීව විද්‍යාඥයෙක්.
5. ජියෑන්ලු බෙනෙඩෙට්ටි: සංචාරක යාත්‍රාවේ මෙහෙයුම් කළමනාකරු සහ ප්‍රධාන කිමිදුම් උපදේශක (මොහුගේ සිරුර පමණක් දැනට සොයාගෙන ඇත).
ජෙනෝවා විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මොවුන් නිල වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණයකට මාලදිවයිනට පැමිණ සිටියද, අනතුරට පත්වූ අවස්ථාවේ සිදුකර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික විනෝදාස්වාදය සඳහා කළ කිමිදීමක් (Private Excursion) බවයි.
තවද,මෙම ඛේදවාචකයත් සමග මාලදිවයින් සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් සෙනසුරාදා (16) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් ගමන් ගත් ‘MV Duke of York’ යාත්‍රාවේ මෙහෙයුම් බලපත්‍රය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මාලදිවයින් සංචාරක නීතියට අනුව විනෝදාස්වාද කිමිදුම්කරුවන්ට (Recreational Divers) යා හැකි උපරිම නීතිමය සීමාව මීටර් 30 කි. මීටර් 40 සීමාවෙන් ඔබ්බට යාම ‘තාක්ෂණික කිමිදීම්’ (Technical Diving) ගණයට වැටෙන අතර ඒ සඳහා විශේෂිත වායු මිශ්‍රණ (Trimix) සහ විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ. මෙම කණ්ඩායම නීතිමය සීමාව උල්ලංඝනය කරමින් මීටර් 50-60 සීමාවට ගියේ ඇයිදැයි යන්න පිළිබඳව මාලදිවයින් පොලිසිය සහ නාවික බලකාය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
යාත්‍රාවේ සිටි අනෙකුත් ඉතාලි ජාතිකයන් 20 දෙනා මේ වන විට නිරුපද්‍රිතව පසුවන අතර, ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය සහ රතු කුරුස සංවිධානය ඔවුන්ට අවශ්‍ය සේවාවන් සපයයි. ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි (Antonio Tajani) මේ සම්බන්ධයෙන් නිල ශෝකය ප්‍රකාශ කර ඇති අතර, මෙම ඛේදවාචකය මාලදිවයින සහ ඉතාලිය දැඩි කම්පනයකට පත් කර ඇති බව සඳහන් කර තිබේ.
