.webp)
-616295.jpg)
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාද දරන දැවැන්ත පෙළපාලි දෙකක් පැවැත්වීම හේතුවෙන් නගරය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. නගරයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 4,000 කට අධික පිරිසක් යොදවමින් මෑත ඉතිහාසයේ දැවැන්තම ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන්ට සිදුව ඇත.
මොනවද මේ විරෝධතා?
පලස්තීන හිතවාදී සාමකාමී ක්‍රියාකාරීන් පිරිසක් මැදපෙරදිග යුද්ධයට එරෙහිව ලන්ඩන් නුවරදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි. ඊට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන්ගේ (Tommy Robinson) ආධාරකරුවන් ද දසදහස් සංඛ්‍යාත පිරිසක් සමඟ ලන්ඩන් නුවරටම රැස්වූයේ පලස්තීන හිතවාදී රැලි තම රටේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්.
පොලීසියෙන් විශේෂ "මායිම් කලාපයක්" (Sterile Zone)
කණ්ඩායම් දෙක අතර සෘජු ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් නගරය පුරා දැඩි සීමාවන් පනවා තිබේ. ඒ අනුව, මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමු නොවන පරිදි වෙන් කර තැබීම සඳහා නගරය මධ්‍යයේ විශේෂ "මායිම් කලාපයක්" (Sterile Zone) නිර්මාණය කිරීමට පොලිසිය පියවර ගත්තේය.
මෙම ආරක්ෂක මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් අශ්වයන්, විශේෂ පුහුණුව ලත් සුනඛයන් සහ ඩ්‍රෝන යානා ද යොදවා ඇත. එමෙන්ම, හදිසි කැරලි මර්දන තත්ත්වයන් සඳහා සන්නද්ධ උපක්රමික වාහන ද සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව, දුම්රිය ස්ථාන සහ ප්‍රධාන මංසන්ධි ආශ්‍රිතව සැකකටයුතු පුද්ගලයන් හඳුනාගැනීම සඳහා සජීවී මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Live Facial Recognition) ද ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයකි.
තත්ත්වය තවත් සංකීර්ණ කළ FA කුසලානය
මෙම දේශපාලන උණුසුම තවදුරටත් සංකීර්ණ කරමින්, ලන්ඩන් නුවර වෙම්බ්ලි (Wembley) ක්‍රීඩාංගණයේදී FA කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය ද පැවැත්විණි. මේ හේතුවෙන් තවත් දසදහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් පිරිසක් ලන්ඩන් නගරයට සහ පොදු ප්‍රවාහන සේවාවලට ඇදී ආ අතර, එය කළමනාකරණය කිරීම පොලිසියට දැඩි අභියෝගයක් විය.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙට්‍රොපොලිටන් පොලීසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම, මහජනතාවට සිදුවන බාධා අවම කිරීම සහ නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම තම අරමුණ බවයි. පොලිස් නියෝග කඩ කරමින් සහ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, ලන්ඩන් නුවර තවදුරටත් දැඩි පොලිස් මුරසංචාර යටතේ පවතී.
මේ අතර, ලන්ඩන් නුවර පවතින මෙම උණුසුම් තත්ත්වය සහ ප්‍රතිවිරුද්ධ විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) අවධාරණය කරන්නේ, විරෝධතා දැක්වීමේ අයිතියට මුවා වී රට තුළ ප්රචණ්ඩත්වය හෝ වෛරය වැපිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා,
"ප්රජාතන්ත්රවාදී රටක තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට සහ සාමකාමීව විරෝධතා දැක්වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය සැමවිටම සුරක්ෂිත කරනවා. නමුත්, එම අයිතිය භාවිත කරමින් මහජනතාව බිය ගැන්වීමට, දේපළ හානි කිරීමට හෝ නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න බැහැ."
දේශපාලන, ආගමික හෝ ජාතිකවාදී මතවාද කුමක් වුවත්, ලන්ඩන් නුවර සාමය කඩ කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව මෙට්‍රොපොලිටන් පොලීසිය එක හා සමානව, තදින්ම නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි ද අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
