කපිලගේ මරණය: පොලීසියෙන් අනාවරණයක්

කපිල චන්ද්‍රසේනගේ සිරුර ළඟ තිබූ පටිය ගැන පොලීසියෙන් අනාවරණයක්

by Staff writer 11-05-2026 | 3:21 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ගෙල වැලලා ගැනීමට යොදාගත් බව කියන පටිය, ඔහුගේ නිවසේ තිබී සේවකයෙකු මගින් ගෙන්වා ගෙන ඇතැයි අනාවරණවී තිබේ.

එම තොරතුරු අනාවරණවී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලදීයි.

කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුලු 15 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඔහු ඊට පෙර දින නීතිඥවරුන් සමග සාකච්ඡාවක නිරතවී ඇති බවටද අනාවරණවී ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ඔහුගේ මළ සිරුර තිබී සොයාගත් කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවස ආශ්‍රිත ආරක්ෂිත කැමරා පරීක්ෂාව තවදුරටත් සිදුවෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී  ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මියගොස් තිබුනේ පසුගිය සිකුරාදායි.

කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි ඥාතියෙකුගේ නිවසේ තිබී එදින ඔහුගේ සිරුර සොයා ගනිණ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුනා.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.c