සාම ගිවිසුම ගැන ඉරානයේ ප්‍රතිචාරය පිළිගන්න බෑ...

ඇමරිකාව ඉදිරිපත් කළ සාම ගිවිසුමට ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගන්න බැහැ - ඇමරිකානු ජනපති

by Staff writer 11-05-2026 | 8:39 AM

COLOMBO (News1st) - ඇමරිකාව ඉදිරිපත් කළ සාම ගිවිසුමට, ඉරානය දැක්වූ ප්‍රතිචාරය පිළිගත නොහැකි බව, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ ටෘත් සෝෂල් හරහා පණිවුඩයක් නිකුත් කරමිනි.

තමන් ඉරාන නියෝජිතයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරය සම්පූර්ණයෙන් කියැවූ බවත්, තමන් ඊට අකමැති බවත්, කිසිසේත්ම එය පිළිගත නොහැකි බවත් ට්‍රම්ප් පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කළ තවත් පණිවිඩයක දැක්වූයේ ඉරානය වසර 47ක සිට ඇමරිකාව ඇතුළු ලෝකයේ සෙසු රටවල් සමග සෙල්ලම් කරමින් සිටින බවයි.

දින කිහිපයක සමාලෝචනයකින් පසු ඊයේ (10) රාත්‍රියේ, ඉරානය පාකිස්ථානය හරහා ඇමරිකාවේ සාම යෝජනාවට ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා විය.

ඉරානයේ ටස්නීම් පුවත් සේවයට අනුව ලෙබනනය ඇතුළු සියලුම යුධ පෙරමුණුවල ගැටුම් වහාම අවසන් කිරීම, ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුම නවත්වා දැමීම, ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම ඉරානයේ ප්‍රතිචාරයට ඇතුළත්.

මේ අතර ඉරානයේ බලගැන්වූ යුරේනියම් තෙවැනි පාර්ශවයකට මාරුකිරීමටද ඉරානය යෝජනා කර ඇතැයි, වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසයි.

මීට පෙර පාකිස්ථානය සහ රුසියාව අදාළ යුරේනියම් තොග ඔවුන්ගේ භාරයට ගැනීමට කැමැත්ත පළ කළේ ය.

කෙසේ නමුත් රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානයේ බලගැන්වූ යුරේනියම් තොග ඕනෑම අවස්ථාවකදී ඇමරිකාවට ලබාගත හැකි බවයි.

අදාළ න්‍යෂ්ටික ද්‍රවය තොගය ඇමරිකානු හමුදාවේ නිරන්තර නිරීක්ෂණය යටතේ ආරක්ෂිතව පවතින බවත්, ඒ ආසන්නනයට පැමිණෙන ඕනෑම අයෙකු විනාශ කර දමන බවටත් ට්‍රම්ප් අනතුරු ඇඟවිය.