.webp)

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව වියට්නාම ජනාධිපතිවරයා ඊයේ(07) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඒ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රීක සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහායි
වියට්නාම ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුව වීම විශේෂත්වයක්
පිලිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරුන් දෙපල ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව විවිධ ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ඉන් අනතුරුව දෙරටේ නායකයින් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කිරීමට ද නියමිතයි.
අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ.චි.මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති වියට්නාම් - හෝ.චි.මිං කලාපයේ ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමටද නියමිතව තිබේ.
වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා අද(08) පෙරවරුවේ විශේෂ දේශනයක් සිදුකිරීමටද නියමිතයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය , කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ තවත් දේශපාලන නියෝජිතයන් සමග වියට්නාම් ජනාධිපතිවරයා අද සාකච්ඡා කිහිපයක්ම පවත්වනු ඇති
කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සංස්කෘතික අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයට සහ වියට්නාමයට ආවේණික වූ නිෂ්පාදන, සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ සහ එරට නවීන කාර්මික නිපැයුම් ප්‍රදර්ශනයටද වියට්නාම් ජනාධිපතිවරයා අද දිනයේ සහභාගීවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
අනතුරුව, ජනාධිපති ටෝ ලාම් ශ්‍රී ලංකා - වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිතයි.
වියට්නාම් එයාර්ලයින්ස් සහ වියට්ජෙට් එයාර් මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ සහ හෝ චි මිං නගරය/හැනොයි අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමද ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමද එහිදි සිදු කෙරෙනු ඇති.
