ට්‍රම්ප් ‘Project Freedom’ තාවකාලිකව අත්හිටුවයි...

ජනපති ට්‍රම්ප් ‘Project Freedom’ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවයි...

by Staff writer 06-05-2026 | 8:29 AM

COLOMBO (News 1st) - හෝමූස් සමුද්‍ර සන්ධියෙන් වෙළෙඳ නෞකා නිදහස් කරගන්නා ‘Project Freedom’ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ, පාකිස්ථානය ඇතුළු රටවල් කළ ඉල්ලීම් සහ සාම සාකච්ඡාවල ප්‍රගතිය මත ඉරානය සමග ගිවිසුමකට එකඟ විය හැකිදැයි විමසා බැලීම වෙනුවෙනි.

ඒ අනුව කෙටි කාලයක් සඳහා අදාළ ව්‍යාපෘතිය නවතා දැමීමට  එකඟතාවයකට පැමිණි බව ටෘත් සෝෂල් ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේය.

එසේ වුවද ඉරානයේ වරායන් අවහිර කිරීමේ ඇමරිකානු හමුදා මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

අදාළ මෙහෙයුම ඇමරිකාව පෙරේදා (04) ආරම්භ කළේ,, ඉරාන - ඇමරිකා යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක රටවල නෞකා හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පිටවීමට නොහැකිව දැඩි පීඩාවකට ලක්ව ඇති බවත්,  එම නෞකා නිදහස් කර දෙන්නැයි අදාළ රටවල් ඇමරිකාවෙන් ඉල්ලීමක් කළ බවත් පවසමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අද (06) අලුයම එම මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර ඇත්තේ ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් එපික් ෆියුරි"ද අවසන් වී ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබීයෝ ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

පෙබරවාරි 28 වැනිදා ආරම්භවූ අදාළ මෙහෙයුමේ අරමුණු ඇමරිකාව සාක්ෂාත් කරගෙන ඇති බවත්, ඒ අනුව ඉරානයට එරෙහි යුද්ධයේ "ප්‍රහාරාත්මක අදියර" දැන් අවසන් බවත් ඔහු සඳහන් කළේ ය.

ඇමරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දියත් කර ඇති මෙහෙයුම "ආරක්ෂාව" උදෙසා පමණක් සිදුවන්නක් පමණක් බවත්,, ඇමරිකාවට ප්‍රහාර එල්ල වුවහොත් පමණක් ඇමරිකාව ඊට ප්‍රතිචාර දක්වන බවත් ඊයේ (05) ධවල මන්දිරයේ මාධ්‍යවේදීන් ඉදිරියේ මාකෝ රුබීයෝ පෙන්වා දුන්නේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම යළි විවෘත කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇතුලුව ඉරානය සමග සාම ගිවිසුමකට එළඹීමට කැමති වනු ඇති බවත් රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගේ ප්‍රසූත නිවාඩු ආරම්භ වීම හේතුවෙන්,, ධවල මන්දිරයේ මාධ්‍ය හමුව මෙවර පැවැත්වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර ඇමරිකාවේ අරමුණු සාක්ෂාත් කරගැනීම මත එපික් ෆියුරි මෙහෙයුම අවසන් කළ බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළද පවතින තත්ත්වය සහ එම ප්‍රකාශයේ පරස්පර විරෝධී බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉරානයට කිසිම දිනෙක න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට ඉඩ නොදීම, ඉරානය සතු යුරේනියම් සංචිත අත්පත් කරගැනීම සහ ඉරානයේ පාලන තන්ත්‍රය බිඳ දැමීම එපික් ෆියුරි මෙහෙයුමේ ප්‍රධාන අරමුණු බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් ඉරානය න්‍යෂ්ටික අවි පිළිබඳ කොන්දේසිවලට එකඟ වී ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතයි.


මේ අතර අප්‍රේල් 8 වැනිදා ආරම්භ ඉරාන - ඇමරිකා සටන් විරාමය තවමත් ක්‍රියාත්මක නමුත්, පසුගිය දින දෙක තුළ ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළ බව වාර්තා විය.

කෙසේ නමුත් ඉරානයේ මධ්‍යම හමුදා මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රහීම් සොල්ෆගාරී පවසන්නේ පසුගිය දිනවල ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර කිසිදු ප්‍රහාරයක් එල්ල නොකළ බවයි.

එමීර් රාජ්‍යය, අසාධාරණ මාධ්‍ය ප්‍රහාර සහ පදනම් විරහිත චෝදනා එල්ල කරන බව ඔහු පෙන්වා දෙයි.

කලාපයේ අනාරක්ෂිතභාවයට හේතුවී ඇති ඇමරිකාව සහ ඊශ්‍රායලයේ මෙහෙයුමවල ප්‍රධාන කඳවුරක් බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්ව ඇති බවද, ඉරාන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.