කපිලට ඇප තැබීමට මුදල් ගෙන ඉදි⁣රිපත්වූ 2ක් රිමාන්ඩ්

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට මුදල් ගෙන ඉදි⁣රිපත් වූ දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ්

by Staff writer 06-05-2026 | 9:34 PM

COLOMBO(News1st) - රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීමට මුදල් ලබාගෙන ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට පත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ කරුණු දක්වමින් කියා සිටියේ, ලක්ෂ 100ක ශරීර ඇප 3ක් මත මුදාහල කපිල චන්ද්‍රසේන සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් හෝ ඔහු හඳුනාගැනීමකින් තොරව රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බව පොලිසිය අධිකරණයට පැවසූවේය.

පොලීසිය කියා සිටියේ, අධිකරණ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් ඇප තැබීමට ඉදිරිපත් වූයේ දේවා සහ තිස්ස නැමැති පුද්ගලයින් කළ ඉල්ලීමක් අනුව බවත්, ඇප තැබීම වෙනුවෙන් රුපියල් 15000ක මුදලක් දී ඇති බවද කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අනාවරණය කර සිටියේය.

පොලීසිය කියා සිටියේ, මෙය 1997 අංක 30 දරණ ඇප පනතේ විධි විධාන අනුව දඬුවම් ලැබිය යුතු වරදක් බවයි.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හා ඔවුන් ග්‍රාම නිලධාරී වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට  නියෝග කරමින් සැකකරුවන් මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.