ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

ජනපති ට්‍රම්ප් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් ඇමරිකාවේ ප්‍රමුඛතම ඉන්ධන සහ ගෑස් සමාගම් නියෝජිතයින් හමුවෙයි.

by Staff writer 30-04-2026 | 7:27 AM

COLOMBO(News1st) - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන් පිරිසක්, ඇමරිකාවේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමග  සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් මාස ගණනක් ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුම පවත්වාගෙන යාමේ ශක්‍යතාව සහ ඉන් ඇමරිකානු පාරිභෝගිකයින්ට ඇතිවන බලපෑම අවම කරගැනීමට ගත හැකි පියවර ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බවයි.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් සමඟින්, ඇමරිකාවේ විශාලතම බොරතෙල් සමාගමක් වන ෂෙව්රන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයික් වර්ත්, බොරතෙල් විකුණුම් සමාගම් වන ට්‍රැෆිගරා, විටෝල් සහ මකියුරියා යන සමාගම්වල නියෝජිතයින්ද ඊට එක්ව සිටි බව ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට අමෙරිකානුවන්ට ඉන්ධන ගැලුමක්, නැතහොත් ඉන්ධන ලීටර 3.7ක් වෙනුවෙන් ඩොලර් 4.2ක් පමණ ගෙවීමට සිදුව තිබේ.

එය යුද්ධය ආරම්භයට පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව 44%ක පමණ වැඩිවීමක්.