ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

චීවරය අවභාවිත කළ භික්ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපන බවට, ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්..

by Staff writer 26-04-2026 | 9:28 PM

COLOMBO (News 1st) - චීවරය අවභාවිත කළ භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ත්‍රෛනිකායික මහානාහිමිවරුන් පවසයි.

මහනාහිමිවරු මේ බව පැවසුවේ,  කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් 22නෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ය.

උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකට තරුණ භික්ෂූන් වහන්සේලා නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් අවධාරණය කරයි.

ඒ බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීතී විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා තරයේ හෙළා දකින බවට සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරමින් ය.

හිමිවරුන් අවධාරණය කළේ, මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බවයි.

සියම් නිකායේ මල්වතුපාර්ශවයේ මහානායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මහනාහිමියන්, සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මහනාහිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපුජ්‍ය මකුලෑවේ විමල මහනාහිමියන්  සහ  අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනාහිමයන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබේ.

ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද එම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් ය.

බුද්ධ චීවරයක් ශාසනික අනන්‍යතාවත් අවභාවික කරමින් එවැනි නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙම සිදුවීම තුළින් යළිත් ප්‍රකට වන බවද නිවේදනයේ දැක්වෙයි.

මහනායක හිමිවරුන් පෙන්වා දෙන්නේ , ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බවයි.

මීට අමතරව  සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට සෑම ආචාර්යන් වහන්සේ නමක් ම නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවට ද මාහානාහිමිවරු දැනුම් දී ඇතැයි නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.