ට්‍රම්ප්ගේ චීන සංචාරයට ඔහුගේ පුත්‍රයෙක් එක්වෙයි!

ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරයට ඔහුගේ ව්‍යාපාරික පුත්‍රයෙක් වන එරික් ට්‍රම්ප් එක්වෙයි!

by Janitha Mendis 15-04-2026 | 6:19 AM

COLOMBO(News1st) - ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාසයේදී චීනයේ සිදු කිරීමට නියමිත තීරණාත්මක නිල සංචාරය සඳහා ඔහුගේ පුත්‍රයෙකු වන එරික් ට්‍රම්ප් ද එක්වන බව වාර්තා වේ.

ට්‍රම්ප් ව්‍යාපාරික ජාලයේ (Trump Organization) ප්‍රකාශිකා කිම්බර්ලි බෙන්සා රොයිටර් පුවත් සේවයට තහවුරු කර ඇත්තේ, එරික් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ ලාරා ට්‍රම්ප් මැයි 14 සහ 15 යන දිනවල පැවැත්වෙන මෙම සංචාරයට එක්වන බවයි.

එරික් ට්‍රම්ප් මෙම සංචාරයට එක්වන්නේ පෞද්ගලික මට්ටමින් බවත්, ඔහු කිසිදු නිල සාකච්ඡාවකට සහභාගී නොවන බවත් ට්‍රම්ප් ව්‍යාපාරික ජාලය පවසයි. චීනය තුළ ඔහුට ව්‍යාපාරික සැලසුම් නොමැති බවත්, හුදෙක් සිය පියාට සහයෝගය දැක්වීම සඳහා පමණක්ම ඔහු මෙම සංචාරයට එක්වන බවත් එම සංවිධානය අවධාරණය කරයි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් මෙම සංචාරයට එක් නොවන බව වාර්තා වේ.

මෙම පියවර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇත්තේ කරුණු කිහිපයක් හේතුවෙනි:

 පරස්පර විරෝධී ප්‍රකාශ: හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් චීන සංචාරයකට එක්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර දැඩි විවේචන එල්ල කර තිබුණි. එවන් පසුබිමක සිය පුත්‍රයාව මෙලෙස චීනයට රැගෙන යාම විවේචනයට බඳුන් වී ඇත.

• ව්‍යාපාරික ගැටලු: ට්‍රම්ප්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යය මෙහෙයවනු ලබන්නේ එරික් ට්‍රම්ප් ඇතුළු පවුලේ සාමාජිකයන් වීම නිසා, මෙම සංචාරය හරහා ස්වකීය වාසි තකා කටයුතු කිරීමේ (Conflict of Interest) අවදානමක් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.

ඩිමොක්‍රටික් සෙනෙට් සභික එලිසබෙත් වොරන් චෝදනා කරන්නේ එරික් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික සබඳතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. එරික් ට්‍රම්ප් ප්‍රධාන උපායමාර්ගික නිලධාරියා ලෙස කටයුතු කරන 'American Bitcoin' ව්‍යාපාරය සඳහා චීන සමාගමක් වන 'Bitmain' වෙතින් උපකරණ ලබා ගැනීම පිළිබඳව ඇය මෙහෙදී සිය කනස්සල්ල පළ කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව තුළ ක්‍රිප්ටෝ මුදල් ප්‍රචලිත කිරීමට පොරොන්දු වී සිටින "ක්‍රිප්ටෝ ජනාධිපතිවරයෙකු" ලෙස පෙනී සිටීම මෙම තත්ත්වය තවත් බැරෑරුම් කරන බව ඇය පෙන්වා දෙයි.

වසර අටකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, ලොව ප්‍රබලතම ආර්ථිකයන් දෙක අතර සබඳතා ස්ථාවර කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම තීරුබදු ගැටලු සහ සෝයා බෝංචි මෙන්ම බෝයිං ගුවන් යානා ගනුදෙනු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.