ගම්මැද්දෙන් සෝදිසිකිරීමේ සහ මුදාගැනීමේ යාත්‍රා2ක්

ගංවතුර සහ ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමට ගම්මැද්දෙන් සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ යාත්‍රා දෙකක්!

by Staff writer 08-04-2026 | 1:02 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාව තුළ ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් පුළුල් කරමින්, නවීන තාක්ෂණයෙන් යුත් සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ (Search & Rescue) යාත්‍රා දෙකක් දියත් කිරීමට ගම්මැද්ද අද (08) පියවර ගත්තේය.

ගංවතුර ඇතුළු ජල ආශ්‍රිත ආපදාවලදී සිදුවන ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙම යාත්‍රා හඳුන්වා දී ඇත. අධිබලැති එන්ජින්වලින් සමන්විත මෙම මුදවා ගැනීමේ යාත්‍රා (Inflatable Rescue Boats - IRBs), ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.

මෙම යාත්‍රා දෙක නිල වශයෙන් දියත් කිරීම Capital Maharaja Group (CMG) සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරිණි.

ආපදා කළමනාකරණය සඳහා නව හවුල්කාරිත්වයක්

මෙම සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ගම්මැද්ද ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (Sri Lanka Life Saving) අතර සුවිශේෂී හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබේ. 'දිට්වා' සුළි කුණාටුවෙන් උගත් අත්දැකීම් පාදක කරගනිමින්, අනාගතයේදී සිදුවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට වඩාත් හොඳින් සූදානම් වීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

එහිදී අදහස් දැක්වූ ගම්මැද්ද ව්‍යාපාරයේ නායක ශෙවාන් ඩැනියල් මහතා,
"ආපදා අවස්ථාවකදී ජනතාව ගම්මැද්ද කෙරෙහි තබා ඇති විශ්වාසය අතිමහත්, ඒ නිසාම අපේ රටේ ජනතාව අපගේ සහය අපේක්ෂා කරන විට, ගම්මැද්ද අපේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරගත යුතුයි. වසර 25කට වැඩි ආපදා සහන අත්දැකීම් ඇති අප ගත් මෙම පියවර, එම හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරනු ඇත."

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ අසංක නානායක්කාර මහතා පෙන්වා දුන්නේ, මෙම යාත්‍රා සෝදිසි කිරීම් සහ මුදවා ගැනීම් සඳහා පමණක් නොව, මීට පෙර මෙරට ආපදා සහන කණ්ඩායම් සතු නොවූ "සේවා සැපයීමේ හැකියාවෙන්" (Service Delivery) ද සමන්විත වන බවයි.

'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ගම්මැද්දේ භූමිකාව

දිට්වා සුළි කුණාටුවෙන් රටේ විශාල ප්‍රදේශයක් හුදෙකලා වූ අවස්ථාවේදී, මාර්ග අවහිර වීම හේතුවෙන් සහන කණ්ඩායම්වලට ජනතාව වෙත ළඟා වීමට දැඩි බාධා එල්ල විය. එවැනි අවස්ථාවක මෙම යාත්‍රාවල ඇති වැදගත්කම හඳුනාගත් ගම්මැද්ද, වහාම ක්‍රියාත්මක වී ආධාර බෙදාදීමට අමතරව මෙලෙස සූදානම් වීම ශක්තිමත් කිරීමට කටයුතු කළේය.

'Care & Dare' වැඩසටහන හරහා පීඩාවට පත් ජනතාවට සෞඛ්‍ය, සනීපාරක්ෂක සහ නීතිමය උපදේශන ඇතුළු සේවාවන් රැසක් සපයන ගම්මැද්ද, මෙම නව යාත්‍රා දියත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා ආපදා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය නව මානයකට ඔසවා තබා ඇත.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා Minderoo පදනම (Minderoo Foundation) ලබා දුන් මූල්‍ය දායකත්වය සහ අනුග්‍රහය පිළිබඳව ගම්මැද්ද සිය ස්තූතිය පුද කර සිටියි.