E-3 Sentry ඔත්තු බැලීමේ යානයක් විනාශයි

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු ඩොලර් මිලියන 470ක් වටිනා E-3 Sentry ඔත්තු බැලීමේ යානයක් විනාශ වෙයි!

by Janitha Mendis 29-03-2026 | 6:30 PM

COLOMBO (News1st): සෞදි අරාබියේ පිහිටි Prince Sultan Air Base වෙත පසුගිය සිකුරාදා එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින්, ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 470ක් පමණ වටිනා E-3 Sentry (AWACS) වර්ගයේ ඔත්තු බැලීමේ යානයක් විනාශ වී ඇති බව වාර්තා වේ.
 
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ නිකුත් වී ඇති චන්ද්‍රිකා ඡායාරූප (Satellite Imagery) මගින් තහවුරු වන්නේ, මෙම ප්‍රහාරයෙන් අදාළ යානයේ රේඩාර් පද්ධතිය සහ බඳ කොටසට (Fuselage) බරපතල හානි සිදුව ඇති බවයි. අංක 81-0005 දරන මෙම යානය 552nd Air Control Wing ඒකකයට අයත්වන අතර, එය නැවත අලුත්වැඩියා කළ නොහැකි මට්ටමට (Beyond repair) විනාශ වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  

ඇමරිකානු ගුවන් හමුදාව සතු "පියාඹන රේඩාර් පද්ධතිය" ලෙස සැලකෙන මෙම යානය, කිලෝමීටර් සිය ගණනක් ඈතින් එන සතුරු මිසයිල, ඩ්‍රෝන සහ යානා හඳුනාගෙන ගුවන් මෙහෙයුම් මෙහෙයවීමට යොදා ගන්නා ප්‍රධානතම අවියකි. දැනට ඇමරිකාව සතුව මෙවැනි ක්‍රියාකාරී යානා පවතින්නේ 16ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් තවත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානා කිහිපයකට ද හානි සිදුව ඇති අතර ඇමරිකානු සෙබළුන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.  

මෙම දැවැන්ත මූල්‍ය සහ ආරක්ෂකමය හානිය පිළිබඳව ලොව පුරා ප්‍රධාන මාධ්‍ය ධාරාවන් වාර්තා කර තිබුණද, ඇමරිකානු මධ්‍යම විධානය හෙවත් US Central Command (CENTCOM) ආයතනය මේ දක්වා ඒ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වීම විශේෂත්වයකි.