නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!

ගල්නෑව, නෑගම්පහ මිනිස්සුන්ගේ පිරිසිදු වතුර පොදක් බොන සිහිනය යථාර්ථයක් කළ මනුස්සකම

by Chathuranga Rajapaksha 27-03-2026 | 1:01 PM

COLOMBO (News1st): එදත්, අදත්, හෙටත් ජනතාව සමග සිටගත් ගම්මැද්ද ජනතාව වෙනුවෙන් තවත් සුවිශේෂි මෙහෙවරක් අද(27) ඉටු කළේය.

ඒ, අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ නෑගම සිරිසුමන විද්‍යාලයේ ඉදි කෙරුණු ප්‍රති ආශ්‍රැත ජල පෙරණ පද්ධතිය අද සිසු අයිතියට පත් කෙරිණි.

ඒ, ගම්මැද්ද තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙසය.

1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ දරුවන් 165ක් පමණ අධ්‍යාපනය ලබන එම සිරිසුමන විද්‍යාලය අයත් නෑගම්පහ ගම්මානයේ පවුල් 170කට අධික සංඛ්‍යාවක් ජීවත් වේ.

පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සිහිනයක්ව පැවති ඔවුන් වෙනුවෙන් එම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ පද්ධතිය ඉදි කිරීමට මුල් ගල තැබුණේ කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති, ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර්. රාජමහේන්ද්‍රන්ගේ ජන්ම දිනය සිහිගන්වමිනි.

මෙම ජල පෙරණ පද්ධතිය සිසු අයිතියට පත් කෙරුණු සුවිශේෂී අවස්ථාවට ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල්, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ජී.එම් කේ. ආර් ප්‍රියදර්ශන, තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුරංජි අම්මුදුවගේ යන පිරිස ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

ගම්මැද්ද පොදු අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් දැක්වූ මෙම ව්‍යාපෘතිය ඉදිකෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙනි.