ඇමරිකානු පැරෂුට් භටයින් 1000ක් මැද පෙරදිගට

පැරෂුට් භටයින් 1000ක් මැද පෙරදිගට යැවීමට ඇමරිකාවේ සූදානමක්...

by Staff writer 25-03-2026 | 8:57 AM

COLOMBO(News1st) - පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවක් ඇති, ඇමරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මගී බලකායේ (82nd Airborne Division) සාමාජිකයින් 1,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යැවීමට ඇමරිකානු බලධාරීන් සූදානම් වන බව අද (25) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, එවැනි හමුදා භටයින් 3000ක් පමණ මැද පෙරදිගට යෑමට නියමිත බවයි.
 

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ෆෝට් බ්‍රැග් (Fort Bragg) කඳවුරේ ස්ථානගත කර සිටින ඇමරිකාවේ 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ පැරෂුට් ආධාරයෙන් ගොඩබැසිය හැකි බව වාර්තා වේ.
 

මේ සතිය අගදී තවත් මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයින් රැගත් නෞකා ද මැදපෙරදිගට පැමිණීමට නියමිත බව මීට පෙර වාර්තා විය. 

ඒ අනුව විශ්ලේෂකයින් පවසන්නේ, ඇමරිකාව ඉරානය ඉලක්ක කර ගනිමින් කිසියම් ගොඩබිම් මෙහෙයුමක් වෙනුවෙන් හමුදා බලඇණි සූදානම් කරමින් සිටින බව පෙනී යන බවයි.
 

ඉරානයේ බොරතෙල් තොගවලින් සියයට 90ක් පමණ නැව්ගත කෙරෙන කාර්ග් දූපත් (Kharg Island) අල්ලා ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වන බවට වාර්තා පළ වුවද, ඇමරිකානු බලධාරීන් ඉරානයේ සිදුවිය හැකි ගොඩබිම් ආක්‍රමණයක් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් තහවුරු කර නැත.