ඇමරිකාවේ ලැව්ගින්නක්

ඇමරිකාවේ නෙබ්‍රස්කා (Nebraska) ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි මාලාව: අක්කර ලක්ෂ 9කට අධික ප්‍රමාණයක් විනාශ වෙයි!

by Janitha Mendis 24-03-2026 | 3:37 PM

COLOMBO(News1st) - ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා (Nebraska) ප්‍රාන්ත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව්ගිනි මාලාව හේතුවෙන් මේ වන විට අක්කර 900,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාර්තු 12 වැනිදා ආරම්භ වූ මෙම ලැව්ගිනි මාලාව, පැයට සැතපුම් 60ක පමණ වේගයෙන් හමාගිය ප්‍රබල සුළං සහ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඉතා වේගයෙන් ව්‍යාප්ත විය. විශේෂයෙන්ම 'මොරිල්' (Morrill Fire) ලෙස හැඳින්වෙන ප්‍රධාන ලැව්ගින්න පැය 12ක් වැනි කෙටි කාලයක් තුළ සැතපුම් 70කට වඩා දුරක් පැතිර ගොස් ඇති බව සඳහන් වේ.

පවතින වත්මන් තත්ත්වය:

සහන සේවකයන්ගේ දැඩි කැපවීම මත මේ වන විට ලැව්ගිනි බොහොමයක් පාලනය කිරීමට සමත්ව ඇති අතර ප්‍රධානතම 'මොරිල්' ලැව්ගින්න 98%ක් ද, 'කොටන්වුඩ්' (Cottonwood Fire) ලැව්ගින්න 96%ක් ද පාලනය කර ඇති බව බලධාරීන් තහවුරු කරයි.

මෙම ව්‍යසනයෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, පශු සම්පත් විශාල ප්‍රමාණයක් සහ නිවාස ඇතුළු දේපළ රැසක් විනාශ වී ඇත. ලැව්ගින්නෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ගොවීන් සහ පශු සම්පත් හිමියන් සඳහා ආධාර සැපයීමට ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) දැනටමත් පියවර ගෙන තිබේ.

නෙබ්‍රස්කා ආණ්ඩුකාර ජිම් පිලන් (Jim Pillen) විසින් මේ වනවිට ප්‍රාන්තය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගිනි නිවීම් කටයුතු සඳහා ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සහාය ද ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී නැවතත් උෂ්ණත්වය ඉහළ යාම සහ සුළං තත්ත්වයේ වෙනස්වීම් මත ලැව්ගිනි නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවයි.