ඉරාන නාවිකයින්ගේ සිරුරු අද ඉරානයට..

ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙරට දකුණු මුහුදේදී මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු අද (13) ඉරානයට..

by Staff writer 13-03-2026 | 11:48 AM

COLOMBO (News 1st) - ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙරට දකුණු මුහුදේදී මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු අද (13) ඉරානයට රැගෙන යයි.

මත්තල ගුවන්තොටුපළ හරහා එම සිරුරු රැගෙන යන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළේ ය.

ගාල්ල ජාතික රෝහල් භාරයේ තිබුණු මළ සිරුරු අද පෙරවරුවේ ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් විසින් භාර ගනු ලැබුවේ ය.

ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන්නැයි පසුගියදා ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක්ද දී තිබුණි.

IRIS Dena නැමති ඉරාන නෞකාව මෙරට දකුණු මුහුදු තීරයේදී මුහුදු බත් වූයේ පසුගිය මාර්තු 04 වැනිදාය.

එහි සිටි ඉරාන නාවිකයින් 32 දෙනෙකු නාවික හමුදාව මැදිහත්ව මුදා ගැනීමෙන් අනතුරුව කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

ඉන් තුන් දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

සෙසු පිරිස ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරුව නාවික හමුදාවට භාර දුන් බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.