.webp)
-611946.jpg)
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය පිලිපීන නිල සංචාරය අතරතුර මැනිලා හි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී විය.
ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම, ව්‍යාපෘති සමාලෝචනය සහ අනාගත සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත.
මෙම නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා හමුවිය. මෙම හමුවේදී දෙපාර්ශවය ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළහ.
දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේදී ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාවය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහයෝගයෙහි වැදගත්කම මෙහිදී අවධාරණය කළාය.
