කියුබානු මුහුදු සීමාවේදී අමෙරිකානු යාත්‍රාවකට වෙඩි

කියුබානු මුහුදු සීමාවේදී අමෙරිකානු යාත්‍රාවකට වෙඩි, හතරක් මරුට - දෙරට අතර උණුසුම් තත්ත්වයක්

by Staff writer 26-02-2026 | 8:43 AM

COLOMBO (News 1st) - කියුබානු මුහුදු සීමාවේදී, කුඩා යාත්‍රාවක් ඉලක්ක කර එරට දේශ සීමා ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ යාත්‍රාව නීතිවිරෝධී ලෙස කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ බවත් එය අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බවත් කියුබානු බලධාරීන් පවසයි.

කියුබාවේ හැවානා අගනුවරට 200km ක් පමණ දුරින් වූ මුහුදේ එම වෙඩි තැබීම සිදුව තිබේ.

දේශ සීමා ආරක්ෂකයින් පස් දෙනෙකු රැගත් බෝට්ටුවක් අදාළ අමෙරිකානු යාත්‍රාව ආසන්නයට යාමට උත්සහ කිරීමේදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් කියුබානු ආරක්ෂකයින් දෙසට වෙඩි තබා ඇති බව කියුබානු ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉන් කියුබානු යාත්‍රාවේ අණදෙන නිලධාරියා තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා වල සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වමින් කියුබානු දේශ සීමා ආරක්ෂක නිලධාරීන් අමෙරිකානු යාත්‍රාවට වෙඩි තබා ඇති බවද කියුබානු රජය නිවේදනය කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබීයෝ සඳහන් කලේ අදාළ යාත්‍රාවේ අමෙරිකානු රජයේ නිලධාරීන් ගමන් කළ බවට වාර්තා නොවන බවය.

ඒ අනුව එම පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකෙරෙන බවද ඔහු සදහන් කළේ ය.

මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ කියුබාව සහ අමෙරිකාව අතර බලශක්තිය පිළිබඳව අර්බුධයක් ඇතිවී ඇති පසුබිමකදීය.

කියුබාවට පසුගිය වසර 25ක පමණ කාලයක් වෙනිසුවෙලාවෙන් බොරතෙල් සැපයුම් ලැබුණු නමුත් පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකාවේ මැදිහත්වීමෙන් එය නවතා දැමුණි.

ඒ හේතුවෙන් මේ වන විට කියුබාවේ දැඩි විදුලිය කප්පාදු කිරීම් ක්‍රියාත්මක අතර ප්‍රවාහන කටයුතුද අඩපණ වී තිබේ.

වෙනිසුවෙලානු බොරතෙල් කියුබාවට විකිණීමට බලාපොරොත්තු වන අමෙරිකානු සමාගම්වලට ඊට අවශ්‍ය බලපත්‍ර ලබාදීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සූදානම් වන බව කෙසේ නමුත් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ය.

එසේ වුවද අමෙරිකානු සමාගම්වලින් බොරතෙල් මිලදී ගැනීමේ ශක්තියක් කියුබාවට තිබේද යන්න සම්බන්ධයෙන් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්.