ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..

මුදා ගැනීමේ සිට යළි ගොඩනැගීම දක්වා: ගම්මැද්ද ‘Care & Dare’ මධ්‍යම පළාත් වැඩසටහනට දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වෙයි!

by Staff Writer . 22-02-2026 | 8:40 PM

COLOMBO (News 1st) — 'දිට්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම්වලින් නිවාස, ජීවනෝපායන් සහ අත්‍යවශ්‍ය සේවාවන් අහිමි වී මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇත. එම විපතට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ගම්මැද්ද ‘Care & Dare’ වැඩසටහනේ 9 වැනි සහ 10 වැනි කඳවුරු මධ්‍යම පළාතේදී අද සාර්ථකව නිමාවට පත්විය. නැවත වරක් ප්‍රදේශයට ඇද හැලෙන මහ වැසි මැද්දේ, නායයෑමේ අවදානම් පවතින පසුබිමක පවා, දහස් සංඛ්‍යාත පීඩාවට පත් ජනතාව තමන්ට අවශ්‍ය සහන සේවාවන් ලබා ගැනීම සඳහා මෙම කඳවුරු වෙත රොක් විය.

මෙම සුවිශේෂී වැඩසටහන පිටුපස ඇත්තේ ලෝක මට්ටමේ ආපදා ප්‍රතිචාර ආකෘතියකි. ආපදාවකදී මුල් දින කිහිපයේ ආධාර ලබා දී නිහඬ වී සිටිනවා වෙනුවට, ජනතාව යථා තත්ත්වයට පත්වන තෙක් අඛණ්ඩව සහාය වීම මෙහි අරමුණයි. ඕස්ට්‍රේලියානු ජාතික ඇන්ඩෘ ෆොරස්ට් සහ නිකොලා ෆොරස්ට් විසින් පිහිටුවන ලද මින්ඩරූ පදනම (Minderoo Foundation) විසින් ලබා දුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක පරිත්‍යාගය හේතුවෙන්, මෙම ‘Care & Dare’ වැඩසටහන හුදු සහනාධාර ලබාදීමෙන් ඔබ්බට ගොස් විධිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් දක්වා ව්‍යාප්ත කිරීමට ගම්මැද්දට හැකි විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් නිවාස 6,000ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 108,000කට වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇත. පීඩාවට පත් පවුල්වල දෛනික ජීවිතය, ආදායම් මාර්ග සහ සේවාවන් ලබා ගැනීමේ හැකියාව තවමත් බිඳ වැටී පවතින අතර, එම හිඩැස පිරවීම ‘Care & Dare’ වැඩසටහනේ මූලික අරමුණයි.

සහන සේවාවලින් ඔබ්බට: සියලු සේවා එකම වහලක් යටදී!

සාමාන්‍යයෙන් රජයේ කාර්යාල කිහිපයකින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් පීඩාවට පත් ජනතාවට එකම ස්ථානයකදී සමීප කරවීම සඳහා ගම්මැද්ද මෙම ‘Care & Dare’ සංකල්පය නිර්මාණය කර ඇත. අද මධ්‍යම පළාතේ පැවැති කඳවුරුවලදී ජනතාවට පහත සඳහන් සේවාවන් රැසක් සැපයුවා.

* වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය සේවා
* නීති ආධාර සහ අහිමි වූ ලියකියවිලි නැවත සකස් කරගැනීමේ සහාය
* පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක විසඳුම්
* ළදරු පෝෂණ අවශ්‍යතා සහ වියළි සලාක
* වෘත්තීය මාර්ගෝපදේශනය සහ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමේ සහාය

ගමින් ගමට යන ‘Care & Dare’ චාරිකාව

ජනවාරි 10 වැනිදා කොත්මලේ ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන පියවරෙන් පියවර දිවයින පුරා පීඩාවට පත් ප්‍රදේශ කරා ව්‍යාප්ත විය. ඒ අනුව පස්සර, මඩොල්සිම, ලුණුගල, වැලිමඩ, නුවරඑළිය, මහනුවර සහ ගම්පොළ යන ප්‍රදේශවලින් පසු අද මාතලේ දිස්ත්‍රික්කයේදී 9 වැනි සහ 10 වැනි කඳවුරු පැවැත්විණි. මෙය දින කිහිපයක වැඩසටහනක් නොව, අපේ රටේ අපේම ජනතාව ස්ථාවර වන තෙක් සිදුකරන අඛණ්ඩ කැපවීමක් බව ගම්මැද්ද යළි යළිත් තහවුරු කරමින් සිටී.

මීළඟ පියවර: යළි ගොඩනැගීම (Rebuild)

මෙම කඳවුරු මාලාව අවසන් වීම යනු ‘Care & Dare’ වැඩසටහනේ නිමාව නොවන බව ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියල් මහතා අවධාරණය කර සිටියේය.

"අපි ඉතා ඉක්මණින් මීළඟ අදියර එළිදක්වනවා, අපගේ ප්‍රයත්නයන් සෑමවිටම නොපසුබටයි!"

මුලින් ක්‍රියාත්මක වූ මුදා ගැනීමේ සහ සහන සැලසීමේ (Rescue/Relief) අදියර සහ දැනට අවසන් වූ ප්‍රතිසාධන (Recover) අදියරෙන් පසුව, ගම්මැද්ද මීළඟට සූදානම් වන්නේ රටපුරා ක්‍රියාත්මක වන යළි ගොඩනැගීමේ (Rebuild) අදියර වෙත පිවිසීමටයි. එමගින් විපතට පත් පවුල්වලට ස්ථාවර පදනමක් සකසාදීම, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සහ දිගුකාලීන සුරක්ෂිතභාවය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

මින්ඩරූ පදනමේ සහයෝගය සහ විවිධ වෘත්තීය ආයතනවල දායකත්වය ඇතිව, ගම්මැද්ද ‘Care & Dare’ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට පෙන්වා දෙන්නේ යම්කිසි ආපදාවකදී හුදෙක් එම මොහොතේ සිදුකරන වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් දිගින් දිගටම මේ අයුරින් සැබෑ මානුෂීය මෙහෙවරක යෙදීමට ඇති හැකියාව සහ උවමනාවයි.