.webp)

COLOMBO(News1st) - 2026-02-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ
'ගමට සන්නිවේදනය' ජාතික ව්‍යාපෘතිය වේගවත් කිරීම
- සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශ හා අඩු සන්නිවේදන පහසුකම් සහිත ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල විදුලි සංදේශ සේවා වැඩිදියුණු කිරීම මඟින් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි 4G පුළුල් පරාස සේවා පහසුකම් සැපයීම අරමුණු කරගත් 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය, 2004 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ජංගම දුරකථන සේවා සපයන සමාගම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන එකී ව්‍යාපෘතියේ ප්‍රධානතම ක්‍රියාකාරකම වශයෙන් පිරිවැය බෙදාගැනීමේ ක්‍රමවේදයක් මඟින් සන්නිවේදන කුලුනු ඉදිකරනු ලබයි. මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ සේවාදායක සමාගම් විසින් සන්නිවේදන කුලුනු 83ක් ඉදි කර ජංගම සේවා පහසුකම් සපයනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් සේවාදායක සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ ඇතැම් සන්නිවේදන කුලුනු මඟින් උත්පාදනය වන ආදායම ප්‍රමාණවත් නොවීම යන කරුණු මත අදාළ කුලුනු ඉදිකිරීමේ කටයුතු මන්දගාමී වී තිබේ. කෙසේ වෙතත්, මේ වන විට කුලුනු ඉදිකිරීමට අදාළ උපකරණවල මිල ගණන් පහළ යාමේ ප්‍රවණතාව ද සැලකිල්ලට ගනිමින්, 'ගමට සන්නිවේදනය' ජාතික ව්‍යාපෘතිය වේගවත් කර, එම ව්‍යාපෘතියේ ප්රතිලාභ වඩාත් කඩිනමින් හා ඵලදායි ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවට ලබා දීමට හැකි වන පරිදි සන්නිවේදන කුලුනක් වෙනුවෙන් එකී කුලුන ඉදි කළ සේවා සපයන සමාගම වෙත රුපියල් මිලියන 35ක උපරිම මුදලක් හෝ එකී සන්නිවේදන කුලුනු ඉදිකිරීම සහ ඊට අදාළ උපකරණ සඳහා වැය වන සත්‍ය පිරිවැයෙන් 75%ක් යන දෙකෙන් අවම අගය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ ඇත. ඒ පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීම සහ විවෘතභාවය සඳහා වන වැඩසටහන්මය ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව හරහා ලෝක බැංකු අරමුදල් සලසා ගැනීම
- ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය සංවර්ධන ආයතනවලින් ලැබෙන අතරමැදි මූල්‍ය පහසුකම් සලසා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය සඳහා වන මූලික ප්‍රතිසංස්කරණයන්ට සහායක් වශයෙන් ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ඔරොත්තු දීම, ස්ථාවර හා ආර්ථික හැරවුම (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව (Development Policy Operations - 2023-2024) යටතේ ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක අරමුදල් මේ වන විට ලබා දී ඇත. රටේ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට තවදුරටත් සහාය වෙමින්, ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය හා විවෘතභාවය ඉහළ නැංවීම, ආර්ථික යහපාලනය වැඩිදියුණු කිරීම සහ එමඟින් ශක්තිමත් හා වඩාත් තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගනිමින්, 2026-2028 කාලසීමාව ආවරණය වන පරිදි වසර 03ක වැඩසටහනක් වන ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීම සහ විවෘතභාවය යන වැඩසටහන්මය ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. තරගකාරිත්වය වර්ධනය කිරීම හා ආර්ථික යහපාලනය වැඩිදියුණු කිරීම යන ප්‍රධාන ස්ථම්භ දෙකක් යටතේ එකී මෙහෙයුම් මාලාව සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, ලෝක බැංකුව වෙතින් අදාළ අරමුදල් පහසුකම සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටියෙහි පිහිටි ඉඩම් කොටසක් පවර්ටෙක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීම
- ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටිය පිහිටි අක්කර 400ක පමණ වගුරු බිම් ප්‍රමාණයක් විශාල වියදමක් දරා මුහුදු වැලි පොම්ප කිරීමෙන් අනතුරුව සංවර්ධනය කරනු ලැබ ඇත. එකී සංවර්ධනය කරන ලද ඉඩමෙන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් රජයේ ආයෝජන මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත පෞද්ගලික ආයෝජනයන් සඳහා බැහැර කරනු ලැබ තිබේ. ඩීඑච්ටී සිමෙන්ති (පුද්ගලික) සමාගම විසින් දේශීය සහ අපනයන වෙළෙඳපොළ සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ෆයිබර් සිමෙන්ති රැළි සහිත සෙවිලි තහඩු, ෆයිබර් සිමෙන්ති පැතලි සෙවිලි තහඩු සහ උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයෙන් අක්කර 3-5 පමණ බිම් ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවර්ටෙක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම නමින් නව සමාගමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධිවිධාන අනුව ස්ථාපිත කර ඇති අතර, ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් එම සමාගම විසින් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. එකී ව්‍යාපෘතිය සඳහා, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටියෙහි පිහිටි ඉඩමෙන් අක්කර 03 රූඩ් 01 පර්චස් 0.95 වන ඉඩම් කොටස රුපියල් මිලියන 272.20ක එකවර ගෙවනු ලබන බදු මුදලක් ගෙවීමට සහ වාර්ෂික නාමික බදු කුලිය රුපියල් 83,500/-ක් ගෙවීමට යටත්ව පවර්ටෙක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම වෙත වසර 30ක කාලසීමාවක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය
- ඩිජිටල් ආර්ථික උපායමාර්ග (2025-2030) යටතේ වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් වන ඩිජිටල් ක්‍රමවේදයන් තුළින් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුක්තව රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් සකස් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් වූ එකී ව්‍යාපෘතියට ආධාර ලබා ගැනීමට අදාළ ණය සාකච්ඡා මේ වන විට අවසන් කරනු ලැබ ඇත. එහිදී එළඹි එකඟතාවන් අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම ලබා ගන්නා ආයතනය වශයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ද, ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් GovTech Sri Lanka ද කටයුතු කරනු ලබයි. ව්‍යාපෘතියට අදාළව ප්‍රතිපත්ති අධීක්ෂණය සහ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත පැවරී ඇත. ඒ අනුව, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මුල්‍ය නියමයන් සහ කොන්දේසි මත පදනම්ව, ලෝක බැංකු සමූහය වෙතින් යෝජිත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) අරමුදල් සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටියෙහි පිහිටි ඉඩම් කොටසක් මාස් ෆ්‍රෙයිට් වේව් ටර්මිනල් (පුද්ගලික) සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
- සැපයුම් හා ගබඩා ව්‍යාපෘතින්හි නියුතු සමාගමක් වන එම්.ඒ.එස්. කොන්සොලිඩේටඩ් (පුද්ගලික) සමාගම වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයෙන් අක්කර 3-4 ප්‍රමාණයෙන් යුතු ඉඩම් කොටසක් සැපයුම් ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන ලෙස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය සඳහා, කෙරවලපිටියෙහි පිහිටි ප්‍රමාණයෙන් අක්කර 03 රූඩ් 02 පර්චස් 25.63ක් වන ඉඩම් කොටස යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියමයන්ට අනුගතව එම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාස් ෆ්‍රෙයිට් වේව් ටර්මිනල් (පුද්ගලික) සමාගම නමින් නව සමාගමක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව, අදාළ ඉඩම් කොටස එකවර අය කළ යුතු බදු මුදල වන රුපියල් මිලියන 305.99ක මුදල වාරික 02කින් ගෙවීමට සහ වාර්ෂිකව නාමික කුලිය ලෙස රුපියල් 90,000/-ක් ගෙවීමට යටත්ව, වසර 30ක කාලසීමාවක් සඳහා මාස් ෆ්‍රෙයිට් වේව් ටර්මිනල් (පුද්ගලික) සමාගම වෙත ලබා දීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම
- පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අතර, වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී. රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාව මඟින් රජයේ මැදිහත් වීම ඉවත් කළ යුතු හා ඈවර කළ යුතු ආයතන යටතේ ශ්‍රම වාසනා අරමුදල ද හඳුනා ගනු ලැබ ඇති අතර, දැනට එහි සේවාවන්ගෙන් ප්රතිලාභ ලබන පාර්ශ්වයන්ට අගතියක් නොවන පරිදි ඈවර කිරීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇත. එකී අරමුදල මඟින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතරින් තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් හඳුනා ගනිමින් එම කාර්යයන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් අදහස් ලබාගෙන ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, 1971 අංක 38 දරන මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026-06-30 දින වන විට ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා පියවර ගැනීමටත්, දැනට ශ්‍රම වාසනා අරමුදල මඟින් සපයනු ලබන හා වෙනත් ආයතනයක් මඟින් ආවරණය නොකෙරෙන තවදුරටත් පවත්වාගෙන යා යුතු සේවාවන් කම්කරු අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යාමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'යතිවර මාපිය නිවහන' ජාතික වැඩසටහන
- බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම පිණිස දරුවන් පැවිදි බිමට එක් කර ඇති, ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක සිටින නිවසක් අහිමි දෙමාපියන්ට නිවසක් තනා දීම අරමුණු කර ගනිමින් 'යතිවර මාපිය නිවහන' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දැඩි ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන පවුල්වල දරුවන් ශාසනයට දායාද කර ඇති දෙමව්පියන් වෙත ශාසනික කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන දියත් කෙරේ. වැඩසටහනේ මූලික අදියර වශයෙන් 2026 වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිවාස 1,000ක් ඉදිකිරීමටත්, දැනට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්' නිවාස වැඩසටහනේ අනුබද්ධ වැඩසටහනක් ලෙස 'යතිවර මාපිය නිවහන' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත. යෝජිත වැඩසටහන යටතේ හඳුනාගනු ලබන ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරින්ගේ නිර්දේශ අනුව රුපියල් මිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබා දෙන අතර, නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දායකත්වය උපරිම වශයෙන් ලබා ගැනීමට ඉඩ සලසා දෙනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව 'ගංගා වැලි' (River Sand) යන යෙදුම වෙනුවට 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීම
- පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල ගංගා වැලි කැණීම සීමා කිරීම සහ වැලි ප්‍රවාහනය කිරීම සඳහා වන සීමාවන් හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය මේ වන විට ගංගා වැලි හිඟයකට මුහුණ දෙමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස, ගංගා වැලිවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, එමඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි සැලකිය යුතු මූල්‍ය පීඩනයක් එල්ල කර ඇත. එබැවින්, ගංගා වැලි සඳහා විකල්පයන් වශයෙන්, නිෂ්පාදිත වැලි (M-වැලි), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines), අක්වෙරළ වැලි සහ අනෙකුත් සුදුසු ද්‍රව්‍ය විධිමත් පරිදි හඳුනාගැනීම හා භාවිතය පහසු කිරීම පිණිස, 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන පුළුල් යෙදුම එම ද්‍රව්‍යයන් සියල්ලම සඳහා යොදා ගැනීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මිලිමීටර 4 ප්‍රමාණයේ හලනයකින් හැලිය හැකි ඉහත සඳහන් කණිකාමය ද්‍රව්‍ය 'සියුම් සමාහාරක' ලෙස අර්ථ දක්වමින්, එම යෙදුම ඉදිකිරීම් සම්බන්ධයෙන් වන සියලුම පිරිවිතරයන්හි හා මාර්ගෝපදේශයන් හි 'ගංගා වැලි' යන යෙදුම වෙනුවට ආදේශ කිරීමට හැකි වන පරිදි 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාර ව නියෝග ප්‍රකාශයට පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- බෙංගාල බොක්ක කලාපය තුළ කලාපීය සහයෝගිතාව සහ ආර්ථික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව (BIMSTEC) පිහිටුවා ඇත. 7 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව 2024 පෙබරවාරි මස පවත්වන ලද සාකච්ඡාවකදී රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හා අත්දැකීම් සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම පිණිස 'රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුවක්' පිහිටුවීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිතුමා විසින් යෝජනා කර තිබේ. එම යෝජනාව අනුව සකස් කරනු ලැබ ඇති විද්වත් කමිටුව පිහිටුවීම පිළිබඳ සංකල්ප පත්‍රිකාව සඳහා සියලුම සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වී තිබේ. එකී විද්වත් කමිටුවේ කාර්ය නිර්ණේය අනුදේශ සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට හැකිවන පරිදි එම විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සලකා බලන ලෙස බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව, එකී විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ 2 වන අදියර යටතේ ඉදිකරනු ලබන කොළඹගේ මාවත හා ස්ටේඩියම්ගම මහල් නිවාස සංකීර්ණවල නිවාස ඒකක සුදුසුකම්ලාභී ප්‍රතිලාභීන් වෙත වෙන් කර දීම
- කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ප්‍රජාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම අරමුණු කර ගනිමින් රජයේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතියේ 2 වන අදියර ලෙස කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ කොළඹගේ මාවත, ස්ටේඩියම්ගම, ෆර්ගියුසන්, ඇපල්වත්ත, මාදම්පිටිය හා ඔබේසේකරපුර යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන නිවාස සංකීර්ණ 06ක නිවාස ඒකක 4,074ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 158ක අරමුදල් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ලබා ගෙන තිබේ. ඒ අනුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සමාජ ආරක්ෂණ මාර්ගෝපදේශවලට අනුගතව අදාළ හිමිකම් සහ ප්රතිලාභ, සුදුසුකම් ලබන අඩු පහසුකම් ජනාවාස හිමියන් වෙත සලසා දීමටත්, සුදුසුකම්ලාභී සෑම නිවාස ප්රතිලාභියෙකුගෙන්ම නිවසේ ප්‍රාග්ධන වියදමින් නාමික අගයක් ලෙස රුපියල් 350,000/-ක මුදලක් සහ නිවාස සංකීර්ණ නඩත්තුව සඳහා ඇති කරනු ලබන නිධන් අරමුදල සඳහා දායකත්වය වශයෙන් රුපියල් 50,000/-ක මුදලක් අය කිරීමට සහ නිවාස පැවරීමට අදාළ ඔප්පු ගාස්තු සහ නීතිඥ ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් රජය විසින් දැරීමට යටත්ව, ඔවුන් වෙත අදාළ නිවාසවල අයිතිය ලබා දීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දියාවේ බැංගලෝර් (BLR) ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ඉන්දියාවේ බැංගලෝර් (BLR) ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන GlobeGround India Pvt. Ltd. වෙත එකී සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, 2026-04-01 දින සිට 2029-03-31 දින දක්වා වසර 03ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.093ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) අරමුදලින් සිදු කරනු ලබන වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- ජාතික සෞඛ්‍ය ප්‍රධාන සැලැස්ම තුළ ආමන්ත්‍රණය කළ යුතු යැයි හඳුනාගෙන ඇති ප්රමුඛ ක්ෂේත්රයක් වන බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරම්වලින් එකක් ලෙස හෘද කැතීටකරණය ඇතුළු හෘද ප්‍රතිකාර පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම හඳුනාගනු ලැබ ඇත. හෘද කැතීටකරණ පහසුකම් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් කිහිපයක පමණක් දැනට ක්‍රියාත්මක වේ. හෘදවාහිනී රෝග, රෝග නිශ්චය සහ ඊට අදාළ ප්‍රතිකාර සඳහා වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2018 වර්ෂයේදී ආරම්භ කර තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් ලබා දෙන ජපන් යෙන් මිලියන 10,639ක අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ එම ව්‍යාපෘතියේ මුල් විෂය පථය යටතේ මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල යන ප්‍රධාන තෘතීයික රෝහල් 05ක හෘද කැතීටකරණ ඒකක, හෘද දැඩි සත්කාර ඒකක, හෘද ශල්‍යාගාර, හෘද උරස් ශල්‍යාගාර, පොදු හෘද වාට්ටු, උපකරණ සහ ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද, 2022 වර්ෂයේදී ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය නියමිත දිනට සම්පූර්ණ කිරීමට නොහැකි ව ව්‍යාපෘතිය අතරමග නැවතී ඇත. එසේම, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ඒ ආශ්රිත සේවාවන්හි මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය ඇස්තමේන්තුව ජපන් යෙන් මිලියන 2,833කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා පවතින අරමුදල් සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කිරීමටත්, ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2029-12-31 දින දක්වා දීර්ඝ කිරීමටත් යටත්ව එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇඳන් 300කින් යුත් රෝහලක් ඉදි කර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම (අයවැය යෝජනා -2026)
- මාතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල 70,000ක් පමණ වන ජනතාවට, ඇඳන් ධාරිතාව 137කින් සමන්විත දෙනියාය මූලික රෝහල මඟින් වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ ළමා රෝග යන විශේෂඥ වෛද්‍ය සේවා මෙන්ම අක්ෂි, චර්ම, මානසික, විකිරණවේද, රසායනාගාර, අධිකරණ වෛද්‍ය, සායනික, හදිසි ප්‍රතිකාර සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා සපයනු ලබයි. දෙනියාය ප්‍රදේශයේ පවතින ඉහළ උන්නතාංශය, අධික බෑවුම සහ අධික වර්ෂාපතනය යන සාධක මත මෙම ප්‍රදේශය නායයාම් අවදානමට ලක් වී ඇති අතර, රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශයේ ඉදිරිපස ප්‍රදේශය මෙන්ම මාතෘ ඒකකය අවට ප්‍රදේශය ද 2023 සහ 2024 වසරවලදී නායයාම්වලට ලක් වී ඇත. එබැවින්, අලුතින් හඳුනාගත් ස්ථානයක ඇඳන් 300කින් සමන්විත නව රෝහලක් ඉදිකිරීමෙන් සම්පූර්ණ රෝහලම සුදුසු සහ ආරක්ෂිත ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කර තිබේ. ඒ සඳහා නගරයේ සිට කිලෝමීටර 03ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ෆර්ඩ් වතුයායෙන් ඉඩම් කොටසක් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අත් කර ගනු ලැබ ඇත. ඒ අනුව, අදියර 02ක් යටතේ රුපියල් මිලියන 6,000ක ඇස්තමේන්තුගත වියදමකින් ඇඳන් 300කින් යුත් නව රෝහලක් එකී ඉඩමේ ඉදිකර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ස්නායු ශල්‍යකර්ම සඳහා ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- මොළයෙහි සැත්කම් සඳහා සහ විවිධ ස්නායු ශල්‍යකර්මවලදී භාවිත කරන ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් මිල දී ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 02ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් 10ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ජර්මනියෙහි Aesculap AG (Manufacturer: Aesculap Ag) වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය
- 2009 වර්ෂයේ සිට 2025-12-31 දින දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දී පවුල් 277,167කට අයත් පුද්ගලයින් 919,450ක් මුල් ගම්බිම්වල නැවත පදිංචි කර ඇත. 2026-01-01 දින වන විට තවදුරටත් එම පළාත්වල කිසිදු නිවසකට හිමිකමක් නොමැති අවතැන් වූ පවුල් 13,069ක් සිටින බව හඳුනා ගනු ලැබ තිබේ. නිවාස අහිමි අවතැන් වූ සාමාජිකයින් දෙදෙනෙකු හෝ ඊට අඩු පවුල් සඳහා වර්ගඅඩි 340ක නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 9ක් ද, සාමාජිකයින් දෙදෙනෙකුට වැඩි පවුල් සඳහා වර්ගඅඩි 550ක නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක් ද වශයෙන් ආධාර ලබා දීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබඳව 2026-01-02 දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී, ප්‍රතිලාභීන් අඩු ආදායම්ලාභීන් වීම සහ අදාළ ඉදිකිරීම් ද්‍රව්‍යවල පිරිවැය හා ශ්‍රම ගාස්තු ඉහළ යාම යන කරුණු සැලකිල්ලට ගෙන, නියමිත ප්‍රමිතියෙන් යුතුව අදාළ නිවාස ඉදිකිරීමට හැකි වන පරිදි දැනට ගෙවනු ලබන ආධාර මුදල පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව නොසලකා වර්ගඅඩි 550ක නිවසක් වෙනුවෙන් 2026 වර්ෂයේ සිට රුපියල් මිලියන 2 දක්වා ඉහළ නැංවීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ දැනට ලබා දෙන ආධාර මුදල රුපියල් මිලියන 2 දක්වා ඉහළ නැංවීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා සිදුකළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'ප්‍රජාශක්ති' දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීම
- 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ජාතික ප්‍රතිපත්තියට අනුකූලව 'ප්‍රජාශක්ති' දිළිදු බව තුරන්කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. මෙම වැඩසටහන මහජන කේන්ද්‍රීය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සභාවක් සහ ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර තිබේ. අමාත්‍යාංශ, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ ව්‍යුහයක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ග්‍රාමීය මට්ටමේ ගැටලු හඳුනාගැනීම, වැඩසටහන් සැකසීම, ව්‍යාපෘති සැලසුම්කරණය, අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය, සමාජ විගණනය මෙන්ම ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම යන ක්‍රියාකාරකම් ඇතුළත්ව සමස්ත දිවයිනම ආවරණය කරනු ලබයි. මෙම ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ පැවති සංවාදවලදී ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් නෛතික බලගැන්වීමක් ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ අනුව, 'ප්‍රජාශක්ති' දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
- වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ වයි.ආර්.සේරසිංහ මහතා වයස අවුරුදු 55 සම්පූර්ණ වීම මත 2025-10-07 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීම හේතුවෙන් එකී තනතුර මේ වන විට පුරප්පාඩු වී පවතී. එකී තනතුර සඳහා සුදුසු නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 31ක සේවා කාලයක් සපුරා ඇති රියර් අද්මිරාල් ආර්.ජෝෂප් මහතා හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට ඒ මහතා පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
- භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ.එන්.හපුගල මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එකී තනතුරෙහි වැඩබැලීම සඳහා දැනට ජාතික අයවැය අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජූඩ් නිලුක්ෂාන් මහතා පත් කිරීමට 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. භාණ්ඩාගාරයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇති නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරිනියක වශයෙන් දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඒ.එම්.එස්.මල්කාන්ති මහත්මිය යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මහත්මිය භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
