බහාලුම් ගැන සොයන කාරක සභාවෙන් සාමාජිකයෙක් ඉවත්වෙයි

කොළඹ වරායේ බහාලුම් 323ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් අනුර කරුණාතිලක ඉල්ලා අස් වෙයි.

by Staff writer 14-02-2026 | 9:33 AM

COLOMBO(News1st) - කොළඹ වරායේ බහාලුම් 323ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව අදාළ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ, වෙනත් සාමාජිකයෙක් ඉදිරියේදී ඒ සඳහා පත්කරනු ඇති බවයි.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීමද සිදු වූ බවයි.