පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන තීරණයක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි.

by Staff writer 09-02-2026 | 7:49 PM

COLOMBO(News1st) - රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" පිළිබඳව යළි සලකා බලන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා දැනුම් දුන්නේ ඊට සංශෝධන සිදුකර සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තුවන බවයි.

"පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 06ක් අද(09) විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන ඊට අදාළ රජයේ ස්ථාවරය දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පත පිළිබඳව මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ලැබෙන අදහස් හා යෝජනා නීතිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා යන පාර්ශ්ව නම් කරනු ලබන විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් හරහා සලකා බැලීමට නියමිතයි.

එහිදී එම පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන කරුණු ද සලකා බැලීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් පසුව විශේෂඥ කමිටුව අදාළ පනත් කෙටුම්පතට සිදු කළ යුතු සංශෝධන අඩංගු වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම කරුණු ඇතුළත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් නීතිපතිවරයා වෙත එවනු ලැබූ ලිපියක් ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥවරු  අධිකරණයට දැනුම් දුන් පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.