78 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි

78 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි

by Staff writer 04-02-2026 | 6:47 AM

COLOMBO (News 1st) -78 වැනි අභිමානවත් නිදහස් දිනය අදට යෙදී තිබේ.

ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරු 8.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ය.

78 වැනි නිදහස් සැමරුමේ තේමාව 'ගොඩනගමු ශ්‍රී ලංකා' යන්නයි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ" ප්‍රධාන සැමරුම් උළෙල සඳහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු අමුත්තන් 2000 ක් පමණ සහභාගි වන බවයි.

නිදහස් සැමරුමේ ආචාර පෙලපාලියට සහභාගී වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 3557 කි.

පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 400ක් , ශිෂ්‍ය භට බලකායේ හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද නිදහස් දින ආචාර පෙළපාලියේ ගමන් කිරීමට නියමිතයි.

වසර 133 ක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව 1948 වසරේ අද වැනි දිනක නිදහස ලැබූවේ ජාති ආගම් කුල භේද නොසලකා එකාවන්ව නැගී සිටි ශ්‍රී ලාංකිකයින්ගේ දැඩි උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් ය.