ජනපතිගේ නිදහස් දින පණිවිඩය..

සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩ නැගීමට එකමුතුව සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු! - ජනපතිගේ නිදහස් දින පණිවිඩය..

by Staff writer 04-02-2026 | 6:54 AM

COLOMBO (News 1st) - බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳව වූ සිහිනය 21 වැනි සියවස තුළ සැබෑ කරමින් රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු ඉසුරුමත් හා යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගා  අප ප්‍රාර්ථනා කරන නව යුගය  නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට  තමන් තුළ අචල විශ්වාසයක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ , ඊට මෙරට සියලු පුරවැසියන්ගේ ශක්තිය, ඔවුන්ගේ සාමූහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි තමන් විශ්වාසය තබා ඇති බවයි.

ගෙවුනු සියවසේ මඟ හැරුණු ජයග්‍රහණ මෙරටට අත්පත්කර දෙමින්  සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක්  ගොඩ නැගීම සඳහා එකමුතුව තිර අදිටනින්  සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු යැයි ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩයෙන් ආරාධනා කරයි.

ජනාධිපතිවරයා පැවසුවේ , අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලස්වීම ඊළඟ අරමුණ බවයි

අභියෝග මැද සාමූහිකව මෙන්ම අධිෂ්ඨානශීලීව අදූෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනගන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාම ගත කිරීමට  අපි සමත්ව ඇති බවද ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවිඩයෙන් සඳහන් කළේ ය.