අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

2026-01-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

by Staff writer 20-01-2026 | 6:41 PM

COLOMBO(News1st) -  2026-01-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම
- ටූනා ධීවර කර්මාන්තය ඉන්දියානු සාගර කලාපයේ ජාතික ආර්ථිකයන්, ආහාර සුරක්ෂිතතාව, රැකියා උත්පාදනය සහ වෙරළබඩ ප්‍රජාවන්‌ගේ සමාජ-ආර්ථික ස්ථායීතාව සඳහා ඉහළ දායකත්වයක් දක්වයි. එහෙත්, අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය ගහණය සහ ආහාර සුරක්ෂිතතාව අඩු වීමේ අවදානමක් මතු වී තිබේ. එබැවින්, ටූනා මත්ස්‍ය සම්පත් කළමනාකරණයේදී සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉරානය, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොසැම්බික්, පාකිස්ථානය, සෝමාලියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් අතර අවබෝධතා ගිවිසුමක් හරහා ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ අනුව, සාමාජික රටවල් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම, ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම, ධාරිතාව ගොඩනැගීම සහ ධීවර සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින්, ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


අමෙරිකා එක්සත් ජනපදය වෙත තැපැල් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස විශ්ව තැපැල් සංගමය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම
- 2025-08-29 දින සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් පැවති ඇමෙරිකානු ඩොලර් 800ට හෝ ඊට අඩු වටිනාකමක් ඇති භාණ්ඩ සඳහා තීරු බදු රහිත අවම නිදහස් කිරීම ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තීරණය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 100 හෝ ඊට අඩු වටිනාකමක් ඇති වාණිජ නොවන හුදෙක් ත්‍යාග හා ලේඛන සහ විශේෂ ව්‍යතිරේකයන්ට අදාළ තැපැල් භාණ්ඩ හැර, එරටට යවනු ලබන භාණ්ඩ අඩංගු අනෙකුත් සියලුම ජාත්‍යන්තර තැපැල් අයිතම ඒවායේ වටිනාකම නොසලකා රේගු බදු ගෙවීමට යටත් වේ. එමෙන්ම, අදාළ තීරු බදු නොගෙවා ඇමෙරිකා එක්සත් ජනපදයට යවා ඇති තීරු බදු සඳහා යටත් වන ජාත්‍යන්තර තැපැල් අයිතම සම්බන්ධයෙන් එරට තැපැල් පරිපාලනය විසින් වග කියනු නොලැබේ. ඒ හේතුවෙන් විද්‍යුත් වාණිජ්‍යය (e-Commerce) හරහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත තැපැල් මඟින් භාණ්ඩ යවනු ලබන මෙරට ව්‍යාපාරිකයින්ට දැඩි බලපෑමක් එල්ල වී ඇත. එම තත්ත්වයට පිළියමක් වශයෙන් විශ්ව තැපැල් සංගමය විසින් විශේෂ මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දී ඇති අතර එමඟින්, අදාළ තැපැල් භාණ්ඩ සඳහා අය කරනු ලබන තීරුබදු සහ අනෙකුත් ගාස්තු, එකී තැපැල් භාණ්ඩ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ලැබෙන විට ප්‍රේෂණය කිරීමේ පහසුකම ඇමෙරිකා එක්සත් ජනපදයේ රේගු දේශසීමා ආරක්ෂණ ආයතනයේ (Customs and Border Protection) බලපත්‍රලාභී ආයතනයක් වන ZONOS ආයතනය හරහා සලසා දී තිබේ. ඒ අනුව, එම ක්‍රියාවලියට අදාළව විශ්ව තැපැල් සංගමය විසින් නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම
- කිවුල් ඔයේ ජල සම්පත කාර්යක්ෂම හා ඵලදායි ලෙස යොදා ගනිමින් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජල හිඟය, දරිද්‍රතාව හා අඩු කෘෂිකාර්මික නිෂ්පාදන ශක්තිය යන ප්‍රධාන ගැටලු විසඳීම සහ ප්‍රාදේශීය ආර්ථිකය සංවර්ධනය කිරීම අරමුණු සහිතව කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2011-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එවකට ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 4,170ක් වූ එම ව්‍යාපෘතිය මහවැලි ජලාශ සංවර්ධන පද්ධතියේ 'L' කලාපය තුළ වසර 04ක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත්, 2022 වසරේ රට තුළ හට ගත් ආර්ථික අවපාතය හේතුවෙන් එම ව්‍යාපෘතිය 2023-12-31 දින සිට තාවකාලිකව නතර කිරීමට පසුව තීරණය කරනු ලැබ ඇත. ව්‍යාපෘති බලප්‍රදේශය තුළ පවතින පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියමක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටත්, දේශීය අරමුදල් භාවිතයෙන් ‍2026 වර්ෂයේ සිට 2031 වර්ෂය අවසානය දක්වා කාලය තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමටත්, ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව මිලියන 23,456ක් වශයෙන් සංශෝධනය කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ක්‍රියාත්මක කිරීම
- බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස ඉදිකිරීම සඳහා 2009-11-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, 2022 වර්ෂයේදි උද්ගත වූ ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ නිලධාරි කමිටුවේ නිර්දේශය මත එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. එකී ව්‍යාපෘතිය මෙරට ජාතික මාර්ග ප්‍රධාන සැලැස්ම (National Road Master Plan) යටතේ ප්‍රමුඛ යටිතල පහසුකම් සංවර්ධන කටයුත්තක් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර, අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 90%ක් පමණ මේ වන විට අවසන් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් කොළඹ-හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩු වන අතර, ඒ හේතුවෙන් නාගරික සංචලනය හා ආර්ථික ඵලදායීතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020-03-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය හේතුවෙන් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කර එකී ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ අනුව ඉදිරිපත් වී ඇති ලංසු 06 සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව M/s Maga Engineering (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා වූ 2026 අයවැය සහන ලබා දීම සඳහා වන ක්‍රමවේදය
- වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබා දීමේ අරමුණින් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550/- දක්වා වැඩි කිරීමට සහ පැමිණීමේ දෛනික දිරි දීමනාවක් වශයෙන් රුපියල් 200/-ක් ඔවුන්ට ගෙවීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2026 අයවැය ඉදිරිපත් කිරීමේදී යෝජනා කරන ලදී. ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන 2026 වර්ෂයේ අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, රජය විසින් ගෙවීමට යෝජිත දිරි දීමනාව 2026 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා අදාළ වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එකී දිරි දීමනාව ඍජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කිරීමටත් අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ දිරි දීමනාව වතු කම්කරුවන් වෙත ගෙවීම පිණිස කම්කරු අමාත්‍යතුමා; සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පනත් කෙටුම්පත
- රක්ෂණ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ප්‍රවර්ධනය සහ වැඩිදියුණු කිරීමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ක්‍රියා කිරීම සඳහා 1982 වර්ෂයේදී ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පිහිටුවා ඇති අතර, එය රක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් හා පුහුණු කිරීම් සහ වෘත්තිමය විභාග පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ එකම වෘත්තීය ආයතනය වේ. 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ බලපත්‍රලාභී රක්ෂණ නියෝජිතයකු වශයෙන් සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් පවත්වනු ලබන විභාග සමත් වීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයට සිය කාර්යයන් විධිමත් පරිදි සිදු කිරීම සඳහා අවශ්‍ය බලතල සලසා දීමට සහ මුල්‍යමය වශයෙන් තිරසර ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම සඳහා 2018 සහ 2019 වර්ෂවලදී එවකට මුදල් විෂය භාර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම පිණිස මූලික පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. එම මූලික පනත් කෙටුම්පත සඳහා වර්තමාන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ එකඟතාව ලැබී ඇත. එකී මූලික කෙටුම්පත මත පදනම්ව, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


2016-01-01 දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීම
- රාජ්‍ය නිලධාරින් සඳහා වඩාත් සුදුසු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් වු 2016 අයවැය යෝජනාවක් අනුව 2016-01-01 දින සිට රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ සියලු නිලධාරින්ගේ පත්වීම් ලිපිවල 'මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිත ය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ.' යනුවෙන් විධිවිධානයක් ඇතුළත් කර තිබේ. එහෙත්, 2016-01-01 දිනයෙන් පසු රාජ්‍ය සේවයේ පත්වීම්ලාභීන්හට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර, පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කර අදාළ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප සම්බන්ධ කොන්දේසිය සංශෝධනය කිරීම සඳහා 2026 අයවැය මගින් යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, 2016-01-01 දිනෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගත් සියලුම රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය 'මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මඟින් විටින්විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.' වශයෙන් සංශෝධනය කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
- ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස දැනට කටයුතු කරනු ලබන ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා 2026-01-25 දිනෙන් පසු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. ඒ අනුව පුරප්පාඩු වන ගාල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට දැනට දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස්බල හා රැකීරක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.යූ.චන්ද්‍රලාල් මහතා 2026-01-26 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර 2023-10-03 දින අත්සන් තබන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු 02ක් තුළ දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. එසේම, එම වාර්තාව මහජනතාවට ද ලබා ගත හැකි විය යුතුය. 2025 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පිළිවෙලින් (-1.1)%ක් සහ 0.8%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය අනුක්‍රමික කාර්තු දෙකක් සඳහා උද්ධමන ඉලක්කයට ප්‍රතිශතාංක 2කට වඩා පහළින් පවතී. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තිය යටතේ මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.