බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් BPL තරග වර්ජනයක

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් BPL තරග වර්ජනයක

by Staff writer 15-01-2026 | 7:39 PM

COLOMBO(News1st) - බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම කල් දැමීමට සිදු විය.

ඊට හේතුව ක්‍රීඩකයින් තරග වර්ජනය කිරීමයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ නස්මුල් ඉස්ලාම් එරට ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෙම තත්ත්වයට හේතු විය.

''ක්‍රීඩකයින් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වැය කරන කෝටි ගණන් මුදල් ඔවුන් නැවත ගෙවිය යුතු යැයි තමන් විශ්වාස කරන බවට'' නස්මුල් ඉස්ලාම් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුභසාධන සංගමයේ සභාපති මොහොමඩ් මිතුන් ඊයේ විරෝධය පළ ක‍ළේ ය.

ඔහු සඳහන් කළේ, නස්මුල්ගේ ප්‍රකාශය මුළු මහත් ක්‍රිකට් ක්‍රීඩාවටම කණගාටුවට කරුණක් වන බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.

එසේ නොවුණහොත්, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග පමණක් නොව ඉදිරි සියලුම තරගද වර්ජනය කරන බවට මොහොමඩ් මිතුන් අනතුරු ඇඟවීමක්ද ක‍ළේ ය.

චොට්ටොග්‍රාම් රෝයල්ස් සහ නොකාලි එක්ස්ප්‍රස් යන කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතව පළමු තරගයට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සහභාගී නොවූයේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රීඩකයින්ට ප්‍රතිචාරයක් නොලැබීම නිසයි.

තරග නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මීර්පූර් ක්‍රීඩාංගනය අසළට රැස්ව සිටි අතර,  ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණි.

නස්මුල් ඉස්ලාම්, ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අමතරව, ක්‍රිකට්  මූල්‍ය කමිටුවේ සභාපති ධුරයද හොබවන අතර, එම ධුරයෙන් ඔහු ඉවත් කර කළ බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ, අද දිනයේ පළමු තරගයට බාධා එල්ල වීමෙන් අනතුරුවයි.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකම කල් දැමූ බවට පසුව නිවේදනය කෙරුණි.

මේ අතර, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.