ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්..

පාකිස්ථානයට එරෙහි තුන්වැනි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට..

by Staff writer 12-01-2026 | 12:08 PM

COLOMBO (News 1st) - 2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය.

ඒ පකිස්ථානය සමග පැවති 3වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 14කින් ජය ගනිමින් ය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා තරග ආරම්භය ප්‍රමාද විය.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු වුණේ පැය 2ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක සල්මන් අඝා පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

රාත්‍රී 09.20ට තරගය ආරම්භ වුණේ එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කරමින් ය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 30කි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 9කින් ලකුණු 34ක් රැස් කළේ හයේ පහර 5ක්ද සමගින් ය.

ජනිත් ලියනගේ පන්දු 8කින් නොදැවී ලකුණු 22කි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160කි

පකිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9කදී බිඳ වැටුණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සල්මන් අගා ලකුණු 45යි.

පකිස්ථාන පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාවවත් පසු කිරීමට හැකි වුණේ

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 4ක් දවා ගත්තේ ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 150 සීමාව පසුකරමින් ය.

එම කඩයිම පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඔහුයි.

ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 150 සීමාව පසු කළ 5වැනි ක්‍රීඩකයා ලෙසද වනිදු වාර්තා අතරට එක්විය.

ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 12 තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි.

ඒ අනුව තරග 1ට 1ක් ලෙස තරගාවලිය සමව අවසන් විය.