ජනපති නිවාස සජවර්ධන අධිකාරී නිලධාරීන් හමුවෙයි

යෝජිත සියලු නිවාස ව්‍යාපෘති, නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්..

by Staff writer 03-01-2026 | 10:17 AM

COLOMBO (News 1st) - 2026 අයවැය යටතේ, යෝජිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන්නැයි ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබාදී ඇත්තේ, අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැළසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

අදාළ ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැළසුම්, වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාලරාමු පිළිබදව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සමීපව නිරීක්ෂණය කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද මෙහෙදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.