ලෝක ආර්ථිකයේ ඉන්දීය පිම්ම...

ජපානය අභිබවමින් ඉන්දියාව ලොව හතරවැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙයි..

by Staff writer 31-12-2025 | 11:20 AM

COLOMBO (News 1st) - ජපානය අභිභවා යමින් ඉන්දියාව ලොව හතරවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි, ඉන්දීය රජය නිවේදනය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය තොරතුරු කාර්යාංශය ඊයේ මේ බව නිවේදනය කළේ, 2025 වසරේ ඉන්දියාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් ය.

ඒ අනුව ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4යි දශම 1යි 8ක් දක්වා ඉහල ගොස් තිබේ.

අදාල වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2025 - 2026 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළ එරට සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 8.2 කින් ඉහළ ගොස් ඇති බවයි..

ආර්ථික වර්ධන වේග පිළිබඳ පුරෝකථන උපුටා දක්වමින් ඉන්දීය බලධාරීන් පවසන්නේ, 2030 වසරට පෙර ඉන්දියාව ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවයි..

කෙසේ නමුත් ඉන්දියාව ලෝකයේ සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇතැයි ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ වන විට ලෝකයේ විශාලතම ආර්ථිකය වන්නේ අමෙරිකාවයි. ඔවුන්ගේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 30කට අධිකයි.

දෙවැනි ස්ථානයේ චීනයත්, තුන්වැනි ස්ථානයේ ජර්මනියත් රැදී සිටී.