ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු 5 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 31-12-2025 | 11:42 AM

COLOMBO (News 1st)-ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්ෂ හවුල නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රභාත් සෙනෙවිරත්න හා මෙහොමඩ් යෙසීර් , එක්සත් ජාතික පක්ෂයේ  ජිලීත් නිශාන්ත හා කපිල කොහොඹන්නේ මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ නිමාලි චම්පිකා යන මන්ත්‍රීවරුවන් ය.

ගාල්ල මහ නගර සභාව ඊයේ කැඳවා තිබූ විශේෂ මහ සභා රැස්වීමේදී හවුල් විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් නාගරික ලේකම්වරියට පහරදීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැණුනි.

පොලීසිය පැවසුවේ, පහර කෑමට ලක්වූ නාගරික ලේකම්වරියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

මේ අතර, තමන්ට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ද පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

ගාල්ල මහනගර සභාව තුළ ඊයේ කලහකාරී ලෙස හැසිරුණේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන හවුල් විපක්ෂයේ නියෝජිතයින් පිරිසක්.

ජාතික ජන බලවේගයට බලය හිමි  ගාල්ල මහ නගර සභාවේ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊායේ සභාව ආරම්භ වූ අවස්ථාවේ සිට එහි කටයුතු වලට බාධා කළේ පසුගිය සභාවාරයේ අයවැය සම්මත කරගැනීම නීති විරෝධී බව පවසමින් ය.

අනතුරුව, සභාවේ ලේකම් මණ්ඩලය නියෝජනය කළ නිලධාරීන්ට විපක්ෂයේ නියෝජිතයින් ජල ප්‍රහාර එල්ල කළේ ය.