කොළඹ නගරය ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ නගරය ආශ්‍රිතව හෙට (31) විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්..

by Staff writer 30-12-2025 | 8:20 AM

COLOMBO (News 1st) - කොළඹ නගරය ආශ්‍රිතව හෙට විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් පමණ පිරිසක් යෙදවීමට සැලසුම්කර ඇති බවය.

නව වසර සැමරීම සඳහා හෙට දිනයේ කොළඹ නගරය වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක්  පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

ඒ හේතුවෙන් රථවාහන තදබදය අවම කර ගැනීම හා ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ හෙට දිනයේ විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරන බවය.

එසේ වුවද, හෙට දිනයේ මෙම පොලිස් වසම් වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරන ලදි.