ඩග්ලස් දේවානන්දා සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත්

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20ක් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත්..

by Staff writer 28-12-2025 | 12:32 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 5 ක් වන බවය.

හිටපු අමාත්‍යවරයාට නිකුත් කර ඇති T56 උන්ඩ 1500 කට අධික සංඛ්‍යාවක් හා මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ෂණ ක්‍රියාත්මක වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් විමර්ෂණ ක්‍රියාත්මකයි.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට එම ගිනි අවි 2001 වසරේ නිකුත් කර ඇති බවද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින තුනක් රදවා ප්‍රශ්න කිරිමට ඊයේ (27) පියවර ගෙන තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ එම රැදවුම් ලබාගත් බව පොලීසිය පැවසුවේ ය.

හිටපු අමාත්‍ය ඩග්ලස්  විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා පෙරේදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී  අත් අඩංගුවට ගනු ලැබුවේ ය.

2001 වසරේදී යුද හමුදාව, ඩග්ලස් දේවානන්දාට ලබා දුන් ගිනි අවි  කිහිපයක් අතර තිබූ පිස්තෝලයක්, 2019 වසරේ වැලිවේරියේ බෝක්කුවක් අසළ තිබියදී සොයා ගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුවය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පුද්ගල ඝාතන විමර්ශන අංශය කළ දීර්ඝ විමර්ශනයකට අනූව ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගෙන තිබුණි.