ප්‍රදේශ කිහිපයකට 100mm ට වැඩි තද වැසි

උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට 100mm ට වැඩි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදන. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 09-12-2025 | 9:43 AM

COLOMBO (News 1st) - උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මලිමීටර් 100ෙට වැඩි තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (09) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පවතින වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 4 ක වාං දොරටු විවෘත කර ඇත.

කලාවැව, රාජාංගනය, පොල්ගොල්ල සහ වෙරහෙරගල ජලාශවල එලෙස වාං දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

මේ අතර මේ අතර පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 04 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 41 ක් සදහා පැනවූ නායයාම් පිළිබද රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කරන ලදි.

නායයාමේ අධි අවධානම් කලාප වල ජිවත් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන වල නැවත පදිංචි කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව නිවාස , ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.

ඔවුන්ට ඉඩම් ලබාදිම සදහා නිවැරදි දත්ත ලබාගැනිමට යාන්ත්‍රණයක් මේ දින වල සකස් කරමින් සිටින බව ඔහු සඳහන් කළේ ය.

ආපදාවට ලක්වූ ජන ජීවිත යථාවත් කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ඒ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ආපදා සහන සේවා කණ්ඩායම් හා ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වූ කණ්ඩායම් මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පැමිණි හමුදා හා සහන සේවා කණ්ඩායම්වල සහභාගිත්වයෙනි.