.webp)
-605172.jpg)
COLOMBO (News 1st) - "The Sanctuary Wildlife Photography Awards 2025" හි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ගෞරව සම්මානයක් ලබා ගැනීමට ඡායාරූප ශිල්පී තිළිණ කළුතොටගේ සමත් වී තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම වනජීවී සහ සංරක්ෂණ (Wildlife & Conservation) සම්මාන උළෙලකදී මෙම සම්මානය ලබා ගැනීමට ඔහුට හැකි විය.
එහිදී පරිසරය වෙනුවෙන් කැප වූ විශිෂ්ට පරිසරවේදීන්, සංරක්ෂණවේදීන්, ගුරුවරුන් මෙන්ම තරුණ පරිසරවේදීන් ආදී රැසක් ඇගයිමට ලක් වී ඇත.
ආසියාව තුළ ලබා ගත් විශිෂ්ට ඡායාරූප දස දහස් සංඛ්‍යාවක් මෙම Sanctuary Asia Photo Award සඳහා ඉදිරිපත් කර ඇති අතර, මෙම සම්මාන උළෙල Sanctuary Asia පදනමේ නිර්මාතෘ වන "Bittu Sahgal" මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ මුම්බායි හි ජාතික රංග කලා මධ්‍යස්ථානයේදී (NCPA) පැවැත්විණි.
තිළිණ කළුතොටගේ විසින් කැමරා කාචයට හසු කරගත් "Blind Misadventure" යන නාමයෙන් නම් කරන ලද ඡායාරූපය සඳහා ඔහුට මෙම සම්මානය හිමි වුණි.
එම ගෞරව සම්මානය ලද ඡායාරූපයෙන් දැක්වෙන්නේ,
මාතලේ, නාවුල ප්‍රදේශයේදී Relocation (නැවත ස්ථානගත කිරීම) සඳහා අල්ලාගත් වන අලියෙකුගේ ඡායාරූපයකි.
ඡායාරූපයට හසු කරගත් අලියා දෑස් නොපෙනෙන, නාවුල ප්‍රදේශයේ වගා සහ නිවාස හානි කිරීම නිසා හොරොව්පතාණ අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයෑම සඳහා ගම්මානයේ සිට අල්ලාගත් අවස්ථාවක් මෙම ඡායාරූපයේ දිස් වෙයි.
තවද, මෙම වන අලියාගේ පාද හතර, ගස් හතරක ගැට ගසා ඇති අතර, ඔහුව ගෙන යාමට පැමිණි ට්‍රක් රථයක් සහ ඩෝසරයක් පසෙකින් දිස් වේ.
එමෙන්ම වන අලියාගෙන් ගම්මානයට කෙසේ හානි වූවත් ඒ දෙස කනස්සලෙන් සහ උමතුවෙන් බලා සිටින ගම්වාසීන් විශාල පිරිසක් ද මෙම ඡායාරූපයේ දක්නට ලැබේ.
