මහ බැංකුවෙන් ණය සහන වැඩපිළිවෙලක්..

ආපදාවට පත්වූ ව්‍යාපාරවලට සහන සැලසීමට මහ බැංකුවෙන් ණය සහන වැඩපිළිවෙලක්..

by Staff writer 06-12-2025 | 7:26 AM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම් වල මුල් ණය මුදල හෝ ණය පොලිය ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක්, ආපදා තත්ත්වය සලකා බලා අත්හිටුවන්නැයි මහ බැංකුව , වාණිජ බැංකුවලට උපදෙස් ලබාදී තිබේ.

මහා බැංකුව, බලපත්‍රලාභී බැංකු වලට දන්වා සිටින්නේ ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලි අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසය.

ණය ගෙවීම අත්හිටුවීමේ කාලය ඉකුත්වීමෙන් පසු අවම වශයෙන් මාස තුනක සහන කාලයකින් අනතුරුව නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමටත් නව චක්‍ර ලේඛය මගින් අවස්ථාව සලසා ඇත.
එමෙන්ම කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් මහා බැංකුව වාණිජ බැංකුවලට දැනුම්දී තිබේ.

මහ බැංකුව බලපත්‍ර ලාභී බැංකු වලට දැනුම් දී ඇත්තේ, බලපෑමට ලක් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට ඒ ඒ ආපදා සිද්ධීන් සලකා බලමින් නව ණය පහසුකම් ලබා දෙන ලෙසය.