සුරතල් "Blacky" ඝාතනය කළ කාන්තාවට අමතක නොවන පාඩමක්

සුරතල් "Blacky" හිතා මතාම සිය මෝටර් රථයට යටකර ඝාතනය කළ කාන්තාවට අමතක නොවන පාඩමක්!

by Staff writer 26-11-2025 | 2:16 PM

COLOMBO (News 1st) - මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප දැක තිබුණද, අසරණ තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් ලබාදුන් සුවිශේෂී තීරණයක් පන්නිපිටියෙන් වාර්තා වේ.

වීථි සුනඛ ධේනුවක් මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

ඒ සැකකාර කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඉකුත් 14 වැනිදා පන්නිපිටිය අඹගස්දූව ප්‍රදේශයේදී අදාළ කාන්තාව හිතා මතාම සිය මෝටර් රථයට යට කර එම සුනඛ ධේනුව ඝාතනය කර ඇති බව CCTV දර්ශනවලින් නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ප්‍රදේශයේ සියලු දෙනාගේම ආදරය හා කරුණාව දිනාගත්, "Blacky" යන ආදර නාමයෙන් හැඳින්වූ මෙම සුනඛ ධේනුවගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කොට්ටාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.