බ්‍රසීල හිටපු ජනපතිගේ වසර 27ක සිර දඬුවම ඇරඹේ..

කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළීමට උත්සාහ ගැනීමේ චෝදනාවට බ්‍රසීලයේ හිටපු ජනාධිපති "ජෙයාර් බොල්සොනාරෝ" ගේ වසර 27ක සිර දඬුවම ඇරඹේ..

by Staff writer 26-11-2025 | 6:38 AM

COLOMBO (News 1st) - අභියාචනා ප්‍රතික්ෂේප වීම හමුවේ බ්‍රසීලයේ හිටපු ජනපති "ජෙයාර් බොල්සොනාරෝ"ගේ වසර 27ක සිර දඬුවම ඇරඹේ.

බ්‍රසීලයේ හිටපු ජනාධිපති "ජෙයාර් බොල්සොනාරෝ"ට හිමිවූ වසර 27ක සිර දඩුවම වහාම ආරම්භ කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) නියෝග කළේ ය.

ඒ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ සියලුම අභියාචනා ප්‍රතික්ෂේප වීම හමුවේය.

ජෙයාර් බොල්සොනාරෝ 2019 වසරේ සිට 2022 වසර දක්වා බ්‍රසීලයේ 38 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදි.

නමුත් 2022 වසරේදී ඔහු වත්මන් ජනපති "ලූලා ද සිල්වා" එම ධුරයට පත්වීමට විරෝධය පළ කරමින්, කුමන්ත්‍රණයක් හරහා ආණ්ඩුව පෙරළීමට උත්සහ ගත් බවට චෝදනා එල්ල වුණේ ය.

හිටපු ජනාධිපතිවරයාට සිර දඬුවම් නියම කෙරුනේ ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.

කෙසේ නමුත් ඔහු ඉදිරිපත් කළ අභියාචනා විභාගයට ගන්නා තුරු දින 100ට වැඩි කාලයක් හිටපු ජනාධිපතිවරයා නිවාස අඩස්සියේ රඳවා තිබුණි.

ඔහු නිවාස අඩස්සියෙන් පලා යාමට උත්සහ කළ බවට සැක මතුවීම හේතුවෙන් පසුගිය සෙනසුරාදා හිටපු ජනාධිපතිවරයාව හදිසියේම අත්අඩංගුවට ගැනුණි.

ඔහු සිය වලලුකරේ පළඳා තිබූ මොනිටරය පවා ගලවා දැමීමට උත්සහ කර තිබුණි.

තමන් ලබා ගත් ඹෟෂධයකින් ඇතිවූ, "තාවකාලික මානසික ව්‍යකූලත්වයක්" හේතුවෙන් අදාල මොනිටරය ගලවා ඉවත් කිරීමට උත්සහ දැරූ බව කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා පසුව සඳහන් කළේ ය.

මේ වන විට බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා "බ්‍රසීලියා" අගනුවර පොලිස් මුලස්ථානයේ රඳවා සිටින අතර ඊයේ ශ්‍රේෂ්ඨධිකරණය නියෝග කලේ ඔහු එම සිර මැදිරියේදීම වසර 27ක සිර දඩුවම ආරම්භ කළ යුතු බවය.

පසුව ඔහුව බන්ධනාගාරයකට ප්‍රවාහනය කෙරෙනු ඇති.