ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

by Staff writer 22-11-2025 | 7:28 AM

COLOMBO(News1st) - දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ  නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර, සබරගමුව සහ දකුණු  පළාත්වලත්  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මේ අතර දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන  ප්‍රදේශයක්  ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අනතුරුව එය බටහිර-වයඹ දෙසට ගමන් කර ලබන සඳුදා වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වනු ඇති.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව, අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර නිල්වලා සහ ගිංඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි  ජලවිද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා මේ වන විට තවත් ගංගා කිහිපයක ජල මට්ටම ඉහල යමින් පවතින බවයි.

පවතින අධික වැසි හමුවේ රාජාංගනය සහ අංගමුව ජලාශවල වාං දොරටු කිහිපයක් ඊයේ(21)  පස්වරුවේ විවෘත කෙරුණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාජාංගණය ජලාශයේ වාං දොරටු 4ක් සහ අංගමුව ජලාශයේ වාං දොරටු 2ක් විවෘත කර ඇති බවයි.

එම ජලාශ වලින් නිකුත් කරන ජලය කලා ඔයට මුදා හරින අතර ඒ අවට පහත් බිම්වල  ජනතාව  අවධානයෙන් කටයුතු කල යුතුයි!

මේ අතර දිස්ත්‍රික්ක 9කට ඊයේ921) රාත්‍රියේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය.

බදුල්ල , කොළඹ, ගාල්ල, කළුතර , මහනුවර , කෑගල්ල , කුරුණෑගල , නුවරඑළිය සහ  රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.