සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අද අමෙරිකාවට

වසර 7කට පසු, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සංචාරයක් සඳහා අද අමෙරිකාවට..

by Hashini De Mel 18-11-2025 | 9:57 AM

COLOMBO (News 1st) - සෞදි අරාබියේ ඔටුන්න හිමි, මොහොමඩ් බින් සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා අද (18) අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය.

සල්මාන් කුමරු අමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ වසර 7කට පසුව වීම විශේෂත්වයක්.

අමෙරිකාව සහ සෞදි අරාබිය අතර, බොරතෙල් ඇතුළු ඉන්ධන පිළිබඳව පවතින සබඳතා අලුත් කර ගැනීමත් කලාපයේ ආරක්ෂාව පිලිබඳ සාකච්ඡා කිරීමත් දෙරට අතර තාක්ෂණය සහ න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සබදතා පුළුල් කරගැනීමත් මෙම සංචාරයේ අරමුණ වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය මැයි මාසයේදී සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී අමෙරිකානු ආර්ථිකය තුළ ඩොලර් බිලියන 600ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට ඔටුන්න හිමි සල්මාන් කුමරු පොරොන්දු වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

අමෙරිකාව සෞදි රජයට එෆ්-තර්ටි-ෆයිව් (F35) ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමටද සූදානම් වේ.

අමෙරිකාව ලෝකයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර, සෞදි අරාබිය ලෝකයේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වේ. මෙම සංචාරය සිදුවන්නේ, අමෙරිකාව සහ සෞදි අරාබිය අතර සබදතා යම් තාක් දුරකට පළුදු වී තිබූ පසුබිමක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

2018 වසරේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී, සෞදි අරාබිය දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකු වූ ජමාල් කෂෝගි නම් තරුණයෙකු සෞදි අරාබියට සම්බන්ධ කණ්ඩයමක් විසින් ඝාතනය කළේ ය.

අදාළ ඝාතනය ඔටුන්න හිමි කුමරුගේ අනුදැනුම සහ ඔහු දුන් නියෝගයක් මත සිදුවූවක් බව අමෙරිකානු බුද්ධි අංශ පසුව අනාවරණය කළේ ය.

කෙසේ නමුත් සෞදි අරාබිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදි.