.webp)
-604161.jpg)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට අද (18) පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙන මෙම අවස්ථාවේ අපේ රටේ බොහෝ කාර්ය සඳහා එම අමාත්‍යාංශ දෙකෙහි තිබෙන සුවිශේෂී මැදිහත් වීමක් නිසා කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් අපි දන්නවා, අපේ රටේ විවිධ අවස්ථාවලදී විවිධ මුහුණුවර සහිතව ජාතිවාදී ප්රවණතා පැන නඟිනවා. ඉතිහාසයේ දූෂණයට එරෙහි බලවේග නිසා අපේ රටේ ආණ්ඩු වැටුණා. හැබැයි, අපේ ආණ්ඩුවට එවන් චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඒ වගේම, 1994දී එතෙක් පැවති ආණ්ඩුව බිඳ වැටුණේ ප්රජාතන්ත්රවාදය කේන්ද්‍ර කර ගෙනයි. ඒ පිළිබඳවත්, අපේ ආණ්ඩුවට චෝදනා කරන්න බැහැ. ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කර ගෙන මෑත කාලයේ ආණ්ඩු බිඳ වැටුණා. ඒ පිළිබඳවත් මේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඒ නිසා කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේගවලට ඉතිරි වී නැහැ. ඒ නිසා පරාජිත බලවේගවල අරමුණ බවට පත්ව තිබෙන්නේ ජාතිවාදී අවස්ථා නිර්මාණය කර ගැනීමයි.
ඒ නිසා පොලීසිය, නීතිය වගේම, ඒ නීතිය ඉටු කිරීම හරහා ඇති විය හැකි සමාජ කැළඹීම් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඇතැම් ක්ෂේත්රවලදී ඒ හා බැදුණු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට භාජනය කළ යුතුයි. ත්‍රිකුණාමලයෙහි බුදු පිළිමයට අදාළ ප්රශ්නය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස මම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ඒ වගේම මේ බුදු පිළිමය අදාළ පොලිස් ස්ථානට වැඩම කර වීම පිළිබඳව තබා තිබෙන සටහනේ ඉතා පැහැදිලිව තිබෙනවා මේ බුදු පිළිමය මෙම ස්ථානයට වැඩම කළේ ආරක්ෂාව සඳහා කියලා. හැබැයි, ඊළගට තිබෙන්නේ මොකක්ද, මෙම බුදුම පිළිම වහන්සේ පොලිස් ස්ථානයේ වැඩම කරවා තිබෙනවා නම්, ඊළගට මෙම ගැටුම එන්නේ පොලීසිය සහ ඒ ජාතිවාදී කණ්ඩායම් අතර කියලා. ඒ නිසා නැවත එම ස්ථානයට බුදු පිළිමය වැඩම කරවා ඒ සඳහා අවශ්‍ය වන ආරක්ෂාව ලබා දී තිබෙනවා.
දැන් එම ප්රශ්නය තිබෙන්නේ අධිකරණයේ. ඊට පෙර ඊයේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ සඳහා 2014 වසරේ ලබා දී තිබූ බලපත්‍රයක් තිබෙනවා. එහෙත් දැන් මෙය විහාරස්ථානයක් ලෙස හැඳින්වූවාට, විහාරස්ථානයක් ලෙස මෙය මෑත කාලයේ භාවිත වී නැහැ. ආපනශාලාවක් ලෙසයි භාවිත වී තිබෙන්නේ.
එම ආපනශාලාවේ නීතිවිරෝධී ඉදිකිරිම් තිබෙනවා කියලා, එම නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ලබා දී තිබුණා. එම නියෝගයට විරුද්ධව පරිසර අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය සඳහන් කර තිබුණා. ඊට පසුව, පොලීසිය නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේලා ප්‍රකාශ කළා තව සතියක කාලයක් ලබා දෙන්න, උන්වහන්සේ අභියාචනාධිකරණයට යන්න අපේක්ෂා කරනවා කියලා. එම කාලය අවසන් වන්නේ 14 වන දාට. හැබැයි, මෙම සිද්ධිය පැන නැගුණේ 16 වන දා. ආගමික ස්ථානයක් පිහිටු වීම වගේම වෙනත් කතාවක් මෙය තුළ තිබෙන බව පේනවා. මෙම ස්ථානයේ ස්වාමීන් වහන්සේට හිමිකමක් සහිත ඉඩමක් තිබුණා, හැබැයි, ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නැහැ. එය තමයි සත්‍ය තත්ත්වය. අදාළ සිදුවීමෙන් පසු දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණියා, නිසි ලෙස මැනුම් කටයුතු සිදු කර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කොටස ඊට ලබා දීමටත්, විහාරස්ථානයට අයත් භූමිය වෙනම නම් කර ලබා දීමටත්. එහෙත් පරණ නඩුවත් සමඟ අධිකරණය ලබා දී තිබෙන නියෝගය වන්නේ අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා, තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා කියලයි. අධිකරණයෙන් තීන්දුවක් ලබා දීමෙන් අනතුරුව, පන්සලට හිමි භූමිය වෙන් කර දීමෙන් පසු අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා තිබෙනවා. ඒ අනුව දැන් මේ ප්රශ්නය අවසන් වී තිබෙනවා.
දැන් සිදුව තිබෙන්නේ අවස්ථාවාදී කණ්ඩායම් සිදු කරන ගිනි තැබීම්. හැබැයි අපි ජාතිවාදයට නම් ඉඩ දෙන්නේ නැහැ. මම විතරක් නෙවෙයි මේ රටේ බෞද්ධ ජනතාවත් ඊට ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ හින්දු, මුස්ලිම්, කතෝලික ජනතාවත් ඊට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා, කවුරුහරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න එය ඉතිහාසය තුළ පමණයි. එය වර්තමානයත් නොවෙයි, අනාගතයත් නොවෙයි. අපේ රටේ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියැවෙන්නේ නැති බවත්, වර්තමාන දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියැවෙන්නේ නැති බවත් සියලු දෙනා තේරුම්ගත යුතුයි.
ඒ වගේම, ආරක්ෂක අමාත්‍යාංශය ලෙස අපි තේරුම් ගෙන තිබෙනවා ඕනෑම ආරක්ෂක හමුදාවක් සූදානම් වන්නේ අපිට කවර ආකාරයේ තර්ජනයක් මතු විය හැකිද යන උපකල්පනය මතයි. අපි වර්තමානයේ අපේක්ෂා කරනවා ලංකාව තුළ යළි දිගු කාලයකට අභ්‍යන්තර වශයෙන් විශාල සිවිල් යුදමය තත්ත්වයන් පැන නගින්නේ නැහැ කියලා. ඒ වගේම මෑත කාලයේ කුමන හෝ බටහිර රාජ්‍යයක් විසින් අපිව ආක්‍රමණය කිරීමේ තත්ත්වයකුත් නැහැ. අපි මේ අවස්ථාවේ අපේ හමුදා යාන්ත්‍රණය සකස් කරන්නේ තාක්ෂණික ක්ෂේත්රයේ ඇති විය හැකි තත්ත්වයන්, සයිබර් අවකාශය, නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳ තර්ජන සඳහා මුහුණ දීමටයි. ඒ වගේම අපේ මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳ අපිට වගකීමක් තිබෙන අතර, එහි තර්ජනයක හැඩරුවක් තිබෙනවා. ඒ වගේම, අපේ ගුවන් සීමාවේ තර්ජනයන් සහ ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා අපි හදුනාගෙන තිබෙනවා. තර්ජනයේ ස්වභාවය අනුව අපේ හමුදාව සූදානම් කරනවා. ඒ නිසා නූතන තාක්ෂණික මෙවලම්වලින් සමන්විත හමුදාවක් ගොඩනැඟීම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.
පසුගිය කාලයේ අපේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරිමේදී ජාත්‍යන්තර සහාය විශාල වශයෙන් ලැබී තිබෙනවා. විශේෂයෙන් අපිට ඉන්දියාවෙන් ජීප් රථ 70ක් පමණ ලැබී තිබෙනවා, ඒ වගේම, අපේ හමුදාව ඉතා හොද නිපුණතාවක් සහිත හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඇකඩමියක් සඳහා යෝජනාවක් ලැබී තිබෙන අතර, ඒ සඳහා සහායද ලැබී තිබෙනවා.
ඒ වගේම, ඇමරිකා එක්සත් ජනපදය අපිට TH 57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක් 2026 වසරේදී ආධාරයක් ලෙස ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම C130 වර්ගයේ ගුවන් යානා 02ක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව 2026 සහ 2027 වසරේදී අපිට ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා. ආධාර වශයෙන්. ඒ වගේම, KA 360 කියන Beechcraft එකක්, ඒ වගේම, KK 350 Beechcraft දෙකක් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ආධාර වශයෙන් මේ වන විටත් ලැබී තිබෙනවා. අපේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බලඇණිය සැලකිය යුතු ප්‍රමාණයකින් දුබල වෙලා තිබෙනවා, අලුතින් අපිට හෙලිකොප්ටර් 10ක් එනවා. තිබෙන හෙලිකොප්ටර් ටික ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවලා සියල්ල සකස් කර තිබෙනවා. ඒ නිසා ඉතා හොද නූතන කාර්යක්ෂම හමුදාවක් අපි ඇති කර තිබෙනවා. මෙය අපේ වගකීමක් බව අපි විශ්වාස කරනවා.
මම කියන්න කැමතියි. සංහිඳියාව පිළිබඳ ප්රශ්නය. මෙය අදියර හතරකින් එකිනෙකට අන්තර් සම්බන්ධව ක්‍රියාත්මක කරමින් සිටිනවා. එකක් තමයි සත්‍ය ගවේෂණය. කුමක්ද සිද්ධ වුණේ කියා සොයා බැලීමේ වගකීම අපිට තිබෙනවා. මේ සත්‍ය ගවේෂණය කිරීමේ යාන්ත්‍රණය සකස් කරන්න අපි එකඟයි. ඊළඟට යුක්ති ගවේෂණය. අපි අපරාධයන්ට විරුද්ධව යුක්තිය ඉටු කිරීමට කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මේ යුක්තිය ඉටු කිරීමේදී බොහෝ විට අර පැරණි රණවිරු දඩයම වගේ සාකච්ඡා යළි එන්න ඉඩ තිබෙනවා. අප රටේ සිසුන් 11 දෙනෙක් පැහැරගෙන ඝාතනය කිරීම සම්බන්ධව නාවික හමුදාවේ යම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී තිබෙනවා. මේ යුද්ධය පූර්ව වශයෙන් අවසන් කිරීමේදී නාවික හමුදාව විශාල කාර්යභාරයක් ඉටු කළා. හැබැයි, ඒ හා කිසිසේත්ම සම්බන්ධ නොවුණු ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳව චෝදනාවක් එල්ල වී තිබෙනවා.
දැන් අපි රටක් වශයෙන් කළ යුත්තේ සමස්ත නාවික හමුදාවම ඒ චෝදනාවට බිලි දෙනවද? එහෙම නැත්නම් ඒ චෝදනාවට නිසි වරදකරුවන් හඳුනාගෙන දඩුවම් දීමද? නාවික හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීම වෙනුවෙනුත්, ඒ එකොළොස් දෙනා අතුරුදන් වීම පිළිබඳවත් පරීක්ෂණ කරලා වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එනවා. මේ සම්බන්ධව, නාවික හමුදාවේ කිසිදු නිලධාරීන් මේකට විරුද්ධ වෙයි කියා මා හිතන්නේ නැහැ. පරීක්ෂණ කර තිබෙනවා, එතකොට සමහර අය අහන්න පුළුවන් ප්‍රමාද ඇයි? ප්‍රමාද වීමේ ලක්ෂණ ඒ ක්රියාවලියේම තිබෙනවා. සමහරු අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවන් ගන්න පුළුවන්. එහෙත් අපි ඒවාටත් ඉඩ දෙනවා. ඒ චූදිතයාටත් ඒ නීතියේ රැකවරණය ආරක්ෂාව ලබා දී ඉතාමත් පිරිසිදු ලෙස පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දෙනවා. ඒක කිසිදු විටෙක රණවිරු දඩයමක් ලෙසට අර්ථකථනය කරන්න එපා.
ඒ වගේම සමහර ඝාතනයන් පිළිබඳව හමුදාවේ බුද්ධි අංශවලටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඒක අප තේරුම් ගන්න ඕනේ. ඒ චෝදනා එහෙම්මම තියාගෙන හමුදාවේ බුද්ධි අංශයට කළු පැල්ලමක් එකතු කරන එකද? නැත්නම් ඒ චෝදනාව සත්‍යයද කියා සොයා බලලා ඒ කණ්ඩායමට දඩුවම් ලබා දෙන එකද? රටක රාජ්‍යයක ක්‍රියාවලි පිළිබඳව යාන්ත්‍රණ තිබෙනවා.
ඒ සාමාන්‍ය කාර්යපරිපාටියෙන් බැහැරව සිදු වන සිදුවීම් තිබෙනවා. ඒවා රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන් හොඳින් වාර්තා විය යුතුයි. ඒකට ශක්තිමත් බුද්ධි අංශයක් අපිට තිබිය යුතුයි. හැබැයි, ඒ බුද්ධි අංශයේ කීර්තිය පිළිබඳව පොදු ජනතාව තුළ විශ්වාසයක් ඇති විය යුතුයි. පසුගිය කාලයේ බොහෝ සිදුවීම් දෙස බැලුවොත් කිහිප දෙනෙක්ට චෝදනා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තරය ඉදිරියේත්, පොදු ජනතාව ඉදිරියේත්, එම ආයතන ඉදිරියේත් මේවා පිරිසිදු කීර්තිමයත් ආයතන බවට පත් කිරීම අපේ වගකීමක්. ලසන්ත ඝාතනයේ පරීක්ෂණ අපි ආරම්භ කර තිබෙනවා.
මේ ඝාතනය වූ වෙලාවේ අපේ ආණ්ඩුව තිබුණා නම් ඔවුන් තවමත් අත්අඩංගුවේ. දැන් මේ ඝාතනය සොයන්නේ වසර 17කට පසුවයි. ඒකයි ප්රශ්නය. වසර 17කට පසුව හොයන්න ලේසි නැහැ. එහෙත් අපි ඒවා හොයනවා. මේ ආයතනවල විනය, කීර්තිය ආරක්ෂා කිරීම තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුවේ වගකීම. විශේෂයෙන්ම තාජුඩීන් ඝාතනය ගන්න. පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා, නාවික හමුදාවේ සමහර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. අපි වැරදිකරුවන් සෙවිය යුතු නැද්ද? මම මෑතකදි නිශ්චිතවම පරීක්ෂණ නිලධාරීන්ගේ ස්ථාවරය ඇහුවා. මේක ස්වභාවිකවම සිදු වූ අනතුරක්ද? නැත්නම් ඝාතනයක්ද කියලා. පරීක්ෂණ නිලධාරීන් වගේම අධිකරණයේ කරුණුවලින්ද තහවුරු වී තිබෙනවා මේක ඝාතනයක් කියලා. එ’නිසා මේක ස්වාභාවික ඝාතනයක් නෙමෙයි. මේවා ගැන සොයන විට රණවිරු දඩයම කියා කියන්න එපා. පසුගිය කාලයේ සිදු වූ එක්නැලිගොඩ ඝාතනය, පාස්කු ප්‍රහාරය මේවා සොයන්න අවශ්‍යයි. දැන් මේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තිබෙනවා, පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. අධිකරණයකදී මේ කරුණු තහවුරු කළ යුතුයි.
අධිකරණයකදී නඩුවක් ගොනු කරන්න ප්‍රකාශ විතරක් ප්‍රමාණවත් නැහැ. අපි පරීක්ෂණ පවත්වන්නේ අධිකරණයකදී. තහවුරු කිරීමට සාධක අවශ්‍යයි. දුරකථන විශ්ලේෂණ, ඔවුන්ගේ සබඳතා ඇත්නම් ඒවා අවශ්‍යයි. අපි හඳුනාගන්න මහමොළකරු ඝාතකයා නෙමෙයිනේ? පාස්කු ප්‍රහාරය සිදු වෙලා උණුඋණුවේම පරීක්ෂණ කරන්න තිබුණා. ඒ ප්රශ්නය විසඳ ගන්න බැරි වුණා. අනතුරුව ඝාතනය කළා යැ’යි සැක හිතෙන කණ්ඩායම් අතට බලය ගියා. බලය ගියාට පසුව ගොඩක් සාක්ෂි වහලා තිබෙන්නේ. පොත්වල කොළ ඉරලා. අපි රටේ මෑත කාලයේ සිදු වූ ඕනෑම ඝාතනයක් සිදු වූ පසුව දින තුනක් යන්නත් කලින් සැකකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඔවුන්ට බලය ගිය නිසා ලංකාවේ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 500කට ආසන්න ප්‍රමාණයකට රට තහනමක් ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් අයින් කළා. ශානි අබේසේකර මහතාව හිරේ දැම්මා. මේ පරීක්ෂණ ආයතන බිඳ වට්ටවලා, පරීක්ෂණ කළ නිලධාරීන්ව මාරු කරලා. වසර 5ක් ගිහින් පරික්ෂණ කරන්න අමාරුයි. හැබැයි, මම අපේ පරීක්ෂණ කණ්ඩායම කෙරෙහි විශාල විශ්වාසයත් තබාගෙන සිටිනවා. ඔවුන් මේ පරීක්ෂණය විධිමත්ව කරලා, වරදකරුවන් නීතිය හමුවට පමුණුවන බව මා දන්නවා.
මේ යුක්තිය පසිඳලීමේ ප්රශ්නය කිසිසේත්ම දඩයම් කිරීමක් ලෙස ගණනය කරන්න එපා. ඒ සෑම කෙනාටම සාධාරණය ඉටු කරමින් මේ පරීක්ෂණ පැවැත්වෙනවා. කිසිදු කෙනෙකුට බලපෑම් කරන්නෙ නැහැ. සත්‍ය ගවේෂණය මෙන්ම යුක්ති ගවේෂණයත් අපි හරියට කරනවා. දැන් මේ මෑතකදී මිනී වළවල් දෙකක් හමු වුණා. අපි මේවාට කොමිෂන් දාන්නේ නොමැතිව අධිකරණ නියෝග මත නියමිත පරිදි පරීක්ෂණ කණ්ඩායම් පත් කළා. ඒ පරීක්ෂණ වැරදියි කියා කාටවත් කියන්න බැහැ. යුක්තිය පිළිබඳ හඬක් අපට අවශ්‍යයි. තෙවනුව, හානි පූර්ණය. යම් හානියක් වෙලා තිබෙනවා නම්, වන්දි ගෙවීම් අපි කරමින් තිබෙනවා. මෑතකදී බුද්ධි අංශ විසින් අපට රත්‍රං තොගයක් සොයාගෙන ලබා දුන්නා. අපි ඒවායේ අයිතිකරුවන් සොයා ගන්න උපරිම උත්සාහ කළා. දැන් ඒවායෙහි අයිතිකරුවන් සොයා ගන්න බැහැ.
අපි තීන්දුවක් ගත්තා ඒවා මුදල්වලට පරිවර්තනය කරලා, ඒ පළාතේ ජනතාවටම ලබා දෙන්න. මේවාට සාධාරණයක් අපි කළ යුතුයි. නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙවැනි තත්ත්ව යළි ඇති නොවීමට පරිසරය සැකසීමේ හැකියාව ඇත්තේ අපට පමණයි. අපි ඒක කරනවා.
නැවත අප රටේ ජාතිවාදී ගැටුම් ඇති වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ ජනතාවට සාධාරණව දේශපාලනයට මැදිහත්වීමට තිබෙන අයිතිය අපි පිළිගන්නවා. එක පැත්තකින් ජාතීන් අතර ගැටුම් ඇති කළ රටක්. ජාතීන් අතර ගැටුම් ගිනිමැලයක් වගේ වතුර දාලා නිවන්න බැහැ. ජාතීන් අතර වෛරය, සැකය දීර්ඝ කාලයක් තිබුණා. මෙහිදී ඉතාමත්ම කුඩා වැරැද්දක්වත් සිදු වෙන්න දෙන්නේ නොමැතිව ජාතික සමගිය සහ සංහිඳියාව අපි ගොඩනඟනවා. ජාතීන් අතර සුහදත්වය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා දිනය අපි මේ දෙසැම්බර් මස පවත්වනවා. සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලනඥයන් හමුවෙලා මේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කවුද කිව්වා තිබ්බොත් බලාගෙනයි කියලා. මම කියන්නේ ආවොත් බලාගෙනයි කියලා. උතුරේ ජනතාවගේත් දකුණේ ජනතාවගේත් සංස්කෘතිකමය හුවමාරු අවශ්‍ය නැද්ද? එ’නිසා අපේ හමුදාවත්, අපිත් මේ රටේ ජාතික සමගිය ගොඩනඟන්න විශාල වැඩකොටසක් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව ඉතා හොඳින් වැඩ කොටසක් කරගෙන යමින් තිබෙනවා. දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට චෝදනාවක් එල්ල කර විශ්වාසභංගයක් ගෙනෙන බව කියනවා. ඔහු චූදිතයෙක් වෙන්නේ ඇයි?
අපේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා දිවා රෑ නොබලා වැඩ කරනවා. එයා ජනතාවගේ මිතුරෙක්. සතුරා කාගෙද? මේ ඉන්න අය නෙවෙයි. ඒ අය නැහැ. ඒ අයගේ සතුරෙක්. ඊළඟට මා දැක්කා විශාල ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා රවී සෙනෙවිරත්න මහතාට විශාල ලෙස පහර එල්ල කරනවා. ඒවා වැරදියි. ඔවුන් කවුරුත් පිළිගන්නා නිලධාරීන්. මත්ද්‍රව්‍ය අපරාධවලට විරුද්ධව නිර්භීතව කටයුතු කරනවා.මේ ඝාතන සහ අපරාධ පිළිබඳව නිර්භීතව කටයුතු කරනවා. එවිට එවැනි අයව වට්ටන්න වුවමනායි. රවී සෙනවිරත්න මහතාට ගහනවා කියන්නේ අපරාධකරුවාගේ පැත්තේ. දූෂිතයාගේ පැත්තේ. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පැත්තේ. ඒකයි ඇත්ත කතාව. ඒගොල්ලෝ සතුරෝ වෙන්නේ කොහොමද?
ඊළඟට ශානි අබේසේකර සතුරො වෙන්නේ කොහොමද? මා දන්නා විදියට ශානි සිදු කළ හැම පරීක්ෂණයක්ම අධිකරණයේදී වැරදිකරු වී තිබෙනවා. වැඩි ප්රමාණයටකට මරණ දඬුවම නියම වී තිබෙනවා. මේ සියල්ල දන්න අය මේ.
උඩතලවින්න පස් දෙනෙකුට මරණ දඬුවම හිමි වුණා. රාජගිරියේ රෝයල් පාර්ක් සිදුවීමේ පුද්ගලයාට මරණ දඬුවම ලැබුණා. පසුව, ඔහු මෛත්‍රී විසින් නිදහස් කළ එක වෙනම කතාවක්. හැබැයි මරණ දඬවම දුන්නා. මේ ආකාරයේ විශාල පරීක්ෂණ කරන නිලධාරියෙක්. අලුත් අය පුහුණු කිරීමට එවන් අත්දැකීම් ඇති නිලධාරීන් අපට අවශ්‍යයි. කිසි දේකට යටත් වුණේ නැති මිනිස්සු.
ඒ මිනිස්සු මේ රට වෙනුවෙන් කළ දේවල්වලට තමුන්නාන්සේලාගේ චූදිතයෝ වෙන්නේ ඒ මිනිස්සුද? ජීවිතය නොතකා මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා කැප වූ මිනිස්සු. ඒ මිනිස්සු අපි රකිනවා. එසේ කළ යුතු නැද්ද? හැබැයි අද චූදිතයෙක් වෙන්නේ ඇයි? තමන් දිශාවට පරීක්ෂණ එද්දි අන්න එවිට, ශානි අපරාධකාරයෙක් වෙනවා.
ඊළඟට ඔබේ විශාල ලෙස චෝදනාවට ලක් වුණා අල්ලස් කොමිසමේ රංග දිසානායක. අපේ රටේ අපට අවශ්‍යයි නිර්භීත රාජ්‍ය සේවයක්. ඒ සඳහා අද මෙම නිලධාරීන් මැදිහත් වෙනවා. පාර්ලිමේන්තුවක වගකීම කුමක්ද? මුළු පාර්ලිමේන්තුවම එක්ව ඒ නිලධාරීන් රැකිය යුතුයි. ඒකයි පාර්ලිමේන්තුවක වගකීම. රටක ජාතික වගකීම තිබෙන්නේ එතන.
හැබැයි, මෙතන මොකක්ද කරන්න හදන්නේ? නිර්භීතව වැඩ කරනවා නම්, විනයානුකූලව වැඩ කරනවා නම්, දූෂණවලට සම්බන්ධ වී නැත්නම්, ඒ නිලධාරීන් බිඳ වට්ටන එක තමයි මෙතන අභිප්‍රාය. මේ පාර්ලිමේන්තුව පොදු සාමූහික ක්‍රියාවලියකට එළැඹිය යුතුයි මෙවැනි දක්ෂ, නිර්භීත නිලධාරීන් රැකීම සඳහා. මම ඔවුන්ටත් කියා තිබෙනවා. ඔබ වැඩේ හරියට කරන්න. රාජකාරියේ සිටින කාලයේත්, නැති කාලයේත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
ඊළඟට මම කියන්නම් ඔබේ චෝදනාවට ලක් වන්නේ කවුද කියලා. දැනට බාගෙට ලක් වී සිටින අපේ පොලිස්පතිතුමා. ඊළඟට සී. අයි. ඩී එකේ කරවිට මහතා. තමුන්නාන්සේලා කළ වංචා, දූෂණ, අපරාධ පස්සේ හඹාගෙන එද්දි දූෂිතයන්ගේ අපරාධකරුවන්ගේ වැඩේ වෙලා තියෙන්නේ ඒ නිලධාරීන්ගේ පසුපස හඹා ගෙන යන එක. එය නතර කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒක කරන්න එපා!
ඊළඟට මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ ප්රශ්නය අපි දන්නවා. හැත්තෑව දශකයේ අග, අසූව දශකයේ මුල ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ගම්වල චණ්ඩි හිටියා. නීතිවිරෝධි මත්පැන් පෙරන, ගංජා විකුණන සාමාන්‍ය මත්ද්‍රව්‍ය වෙළෙඳුන් හිටියා. ඒ චණ්ඩියා හිරේට ගියාම ඒ ගමම නිදහස්. සමාජයෙනුත් ඔවුන්ට පිළිකුලක් තිබුණා. සාමාන්‍යයෙන් ඒ දූෂිතයා පාරේ දකුණු පැත්තෙන් ආවොත් වම් පැත්තට මාරු වෙනවා. මගුල් ගෙදරකට උත්සවයකට කියන්නේ නෑ, එයා සමාජයෙන් කොන් වූ කෙනෙක් බවට පත් වුණා. ඔවුන්ට විරුද්ධව සමාජ මතයකුත් තිබුණා.
හැබැයි, මේ චණ්ඩි ඊට පස්සෙ යොමු වුණා දේශපාලනයට. විශේෂයෙන් 77 බිහිවුණු යූ. එන්. පී ආණ්ඩුව කළ දේ තමයි හැම මන්ත්‍රී කෙනෙක්ම එයා ගාවට තගයෙක් හදා ගත්තා. එතනින් තමයි මෙයාට දේශපාලන රැකවරණය ලැබෙන්න පටන් ගත්තේ. එතකොට මෙයා තවදුරටත් ගමේ හිටපු පොඩි විජේ හරි මරුසිරා හරි නෙවෙයි. ඔහු දේශපාලන රැකවරණ සහිත ගණංකාරයෙක් චණ්ඩියෙක් බවට පත් වුණා. මෙයා ඉස්සෙල්ලාම කුඩුවලට බැස්සෙ නෑ. කොන්ත්රාත්වලට බැස්සේ. සොත්ති උපාලි ගිහින් ගම්උදාවේ පස් පිඩැලි අල්ලනවා. බැද්දෙගානේ සංජීව පොඩි පොඩි කොන්ත්‍රාත් කරන්න පටන් ගත්තා. මුදල් උපයන්න පටන් ගත්තා.
ඊට පස්සේ ලෝකයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ විශාල ජාලයක් නිර්මාණය වුණා. මොවුන් මත්ද්‍රව්‍ය ජාලයට ඇතුළු වුණා. දැන් දේශපාලන බලය තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇතුළු වෙනවා. මත්ද්‍රව්‍යවලින් විශාල ලෙස මුදල් උත්පාදනය වෙන්න පටන් ගත්තා. මේ මුදල් උත්පාදනය විසින් ඔවුන්ට රාජ්‍ය යාන්ත්‍රණය මිලදී ගන්න හැකි වුණා. මුදල් විසින් සමාජ ගෞරවය ලැබෙන්න පටන් ගත්තා. ගමේ කරන ලොකු උත්සවයක් තියෙනවා නම් එහි ප්‍රධානියා බවට පත්වෙනවා අර නීතිවිරෝධී ලෙස ධනය උපයා ගත් පුද්ගලයා. එවිට වෙනදා තිබුණ සමාජ කොන් කිරීම වෙනුවට සමාජ රැකවරණයත් ලැබෙනවා. සමාජය විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයා ධනය විසින් වෙන බලයක් නිර්මාණය කළා. ඔවුන්ගේ සමහර වැඩ කර ගැනීමට. ඒ ධනය හරහා රාජ්‍ය යාන්ත්රණයට ඇතුළු වුණා.
පොලීසියේ නිලධාරීන්ට පගා ගෙවන්න පටන් ගත්තා. ආර්. එම්. වී එකට, ඉමිග්රේෂන්, කස්ටම් පගා දෙන්න පටන් ගත්තා. රාජ්‍ය යාන්ත්‍රණයත් ඊට ඒකාබද්ධ වුණා. මොවුන් මුදල් ආයෝජනය කරන්න පටන් ගත්තා. ඒ අනුව මුදල් මත ගොඩනැගුණ ව්‍යාපාරික ජාලයකුත් හැදුණා. සමහර ව්‍යාපාරිකයන් මාධ්‍යවලට මුදල් යොදවන්නත් පටන් ගත්තා.
මෙය හුදු චණ්ඩියාගේ සිට ජාලයක් දක්වා වර්ධනය වී තිබෙනවා. දේශපාලන අධිකාරිය, කුඩු ව්‍යාපාරිකයා, සන්නද්ධ අපරාධකරුවා, දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ජාලය. බුද්ධි අංශ විසින් ඉක්මනින්ම මාධ්‍ය ජාලය සමඟ තිබෙන සම්බන්ධය අපට හෙළිදරවු වෙයි.
දැන් මෙය හුදු මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් හෝ හුදු චණ්ඩියෙක් හෝ නෙවෙයි. මෙය දැන් සංවිධානාත්මක දෙයක්. සමහර සංවිධානාත්මක ක්‍රියාකාරකම් එක්ක ජාත්‍යන්තර සබඳතාවක් හැදිලා තිබෙනවා. එය අපි ඉතිහාසයේ දැක තිබෙනවා. හයිටියේ ජනාධිපතිවරයා ඝාතනය වුණාට පස්සේ තොරතුරු හෙළිදරවු වෙන්නේ මත්ද්‍රව්‍යවලට එරෙහිව කරපු ඝාතනයක්. මෙක්සිකෝවේ ජනප්‍රිය ජනාධිපති අපේක්ෂකයෙක් ඝාතනය කරනවා. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්තට පස්සේ උද්ඝෝෂණ නිර්මාණය කරනවා. ඒ නිසා මෙය ජාත්‍යන්තර වශයෙන් ගත්තත්, දේශීය වශයෙන් ගත්තත් මේක වෙන තැනකට වර්ධනය වී තිබෙනවා. දැන් තියෙන්නේ අර හුදු ගමේ චණ්ඩියා කියන තැන නෙවෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි මේ ඔක්කොම එක්ව චෞර වළල්ලක් බවට මෙය පත්ව තිබෙනවා.
දැන් අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ වුණත් වැඩේ යම් ප්‍රමාණයකින් තවමත් සිදු වෙනවා. මොකද ආණ්ඩුවේ ආශිර්වාදය ඇතුව මේ ජාලය මෙහෙය වූවා. ජාලය ක්‍රියාත්මක වුණා. ජාලයේ රාජ්‍ය යාන්ත්රණයට අවශ්‍ය වුණා. ගමේ බලය තියා ගෙන යන්න, මිනිස්සු බය කරන්න. ආරක්ෂාවට . මම දන්නවා සමහර කුමාරවරු රැස්වීමේ කතා කරන විට ආරක්ෂාවට ඉන්නේ ජුලම්පිටියේ අමරේ. ඔවුන් ආරක්ෂාවට තියා ගත්තා මේ පාතාලයේ නායකයෝ.
ඒ වගේම තමයි අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා කටුවන රැස්වීම තියන විට ඒ රැස්වීමට වෙඩි තියෙනවා. දෙදෙනෙක් ඝාතනය වෙනවා. කවුද කළේ. ජූලම්පිටියෙ අමරේ. බැද්දගානේ සංජීව, ඇමතිකම් ගන්න සොත්ති උපාලි ළඟට ගිය එක බොරුවක්ද? මෙලෙස අනවශ්‍ය බලයක් නිර්මාණය කළා. මේ අනවශ්‍ය බලය සමග කුඩු, අනෙකුත් මත්ද්‍රව්‍ය, විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්, සන්නද්ධ අපරාධ කල්ලි නිර්මාණය වී තිබෙනවා. මේක තමයි දැන් තිබෙන තත්ත්වය. අපි මේ තත්ත්වය පරාජය කළ යුතුයි. ඒ පිළිබඳ සැකයක් තබා ගන්න එපා.
උතුර, නැගෙනහිර, දකුණ ආදී වශයෙන් මුළු සමාජයම මෙහි ගොදුරු බවට පත්ව තිබෙනවා. ඒ නිසා තමයි අපිට ජාතික මෙහෙයුමක් අවශ්‍ය වුණේ. ඒක ආණ්ඩු ක්‍රියාවලියක් නොවෙයි. කවුරු ආණ්ඩු කළත් මත්ද්‍රව්‍ය සහ ඒ හා බැදුණු සන්නද්ධ අපරාධ කල්ලි අපි විනාශ කළ යුතුමයි. මේ සඳහා අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ හා බැදුණු ආයතන සියල්ල වැඩ කරන්න අවශ්‍යයි.
මහජනතාව අද මේ සඳහා විශාල සහායක් ලබා දෙනවා. හැබැයි, විරුද්ධ පක්ෂයේ දේශපාලකයෝ ඊට එරෙහිව වැඩ කරමින් සිටිනවා. මේ ක්‍රියාදාමයට එරෙහිව වැඩ කරන කිසිදු දේශපාලන පක්ෂයකට මහජනතාව ඉඩ ලබා නොදෙනු ඇති බවට විශ්වාසයක් අපිට තිබෙනවා. මෙතෙක් කාලයක් මේ සඳහා ආශිර්වාදය, අනුග්‍රහය දැක් වූ දේශපාලන යාන්ත්‍රණය මහජනතාව බිඳ වට්ටවා තිබෙනවා. යළි එවන් දේශපාලන ව්‍යාපාරවලට එවැනි විනාශකාරීත්වයන් සඳහා බලය අත්පත් කර ගැනීමට ඉඩ නොතැබීම අපේ අභිප්‍රායයි.
ඒ නිසා අපි පුරෝකථනය කරනවා අනතුර තිබෙන්නේ කොතනද කියලා. එම පුරෝකථන අනුව සැලසුම් හදන නිලධාරි යාන්ත්‍රණයක් අපිට සිටිනවා. අපි ඔවුන් කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. අද ආරක්ෂක ලේකම්වරයාව ඕනෑම අවස්ථාවක සම්බන්ධ කර ගත හැකියි. අපේ රටේ ආරක්ෂක ලේකම්වරු හිටියා, ඇමතිවරුන් ගිහින් දණ ගහන. එවන් රටක අද විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඕනෑම කෙනෙකුට ආරක්ෂක ලේකම්වරයාට ඕනෑම අවස්ථාවක කතා කළ හැකියි. පොලිස්පතිවරයාත් එහෙමයි. ඒ නිසා මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටත්, මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත්, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේත් නිලධාරීන් විශාල වෙහෙසක් දරනවා. ඒ නිසා මම අවසන් වශයෙන් එම ආමත්‍යාංශ දෙකේ ලේකම්වරු ඇතුළු සියලු නිලධාරීන් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු සියලුදෙනාටත් ස්තූතිවන්ත වෙනවා.
ඔවුන් සිදු කරන කාර්යභාරය පිළිබඳ අපිට ඇගයීමක් තිබෙනවා. අනෙක් හැම රාජකාරියටම වඩා ඔවුන් ඔවුන්ගේ ජීවිතය අනතුරට හෙළමින් තිබෙනවා, ඔවුන් පළිගැනීමට ලක් වෙයිද කියා සැකයකින් වැඩ කරනවා, ඔවුන්ට මේ රට තුළ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියලා සැකයකින් වැඩ කරනවා. ඒ තරම් අසීරුතා සහිත රැකියාවල ඔවුන් නිරත වෙනවා. අපි ඔවුන් සියලු දෙනාටම කියන්නේ ආණ්ඩුවක් ලෙසත් ඔවුන් රකිනවා, ආණ්ඩුවේ නැතත් ඔවුන් රකින බව මම සහතික කරනවා. අපේ රටේ රාජ්‍ය ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, පාතාලය, අපරාධ, දූෂණය නතර කර යහපත් රාජ්‍යයක් ගොඩනැඟීමටත් ඔබ සියලු දෙනා දරන වෙහෙසට මම නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා.
