අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්..

අමෙරිකා-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවය වෙනුවෙන් ගිවිසුමකට අත්සන් තබයි..

by Staff writer 16-11-2025 | 10:16 AM

COLOMBO (News 1st) - අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ.

අමෙරිකාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් සහ මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකායේ විධායක ජෙනරල්, බ්‍රිගේඩියර් ජෙනරල් Trenton Gibson ඊට අත්සන් තබන ලදි.

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් කරන ලදි.

එම ගිවිසුමත් සමඟ, අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ එරට ජාතික ආරක්‍ෂක බලකායන් සමඟ පාර්ශ්වකරුවන් ලෙස ක්‍රියා කරන විවිධ ජාතීන් 115 කින් සමන්විත ගෝලීය ජාලයට ශ්‍රී ලංකාව ද එක්වනු ඇත.

ඒ යටතේ, හදිසි ආපදා ප්‍රතිචාර, සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත්භාවය ඉහල නැංවීම සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මූලික අවධානයක් යොමුවනු ඇත.

දෙරටේ පොදු අභිලාෂයන් මත ගොඩනැඟුණු දිගුකාලීන හවුල්කාරිත්වය ඒ හරහා තවත් වර්ධනය වන බව එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය සඳහන් කළේ ය.

නව ගිවිසුම හරහා ආරක්ෂක අංශවලට පුහුණු සහ ඉගෙනුම් අවස්ථා රැසකට ඉඩ සැළසෙන බව ද, ඇය සදහන් කළේ ය.