වන්දි මුදල් ඉල්ලා ට්‍රම්ප්ගෙන් BBCයට ලබන සතියේ නඩු

BBC නාලිකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඩොලර් බිලියන 1ත් 5ත් අතර වන්දි මුදලක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බවත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි කියයි..

by Staff writer 15-11-2025 | 1:44 PM

COLOMBO (News 1st) - BBC නාලිකාවට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි පවසා තිබේ.

තමන්ට වන්දි ගෙවීම BBC නාලිකාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම ගුවන් යානයේදී මාධ්‍යට අදහස් දක්වමින් ට්‍රම්ප් ඒ බව පැවසුවේ ය.

ඩොලර් බිලියන 1ත් 5ත් අතර මුදලක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ය.

BBCය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමක් නිකුත් කර, සමාව අයැද ඔහුට වන්දි ලබා නොදුන්නේ නම්, ඩොලර් බිලියන 1ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා මේ සතිය මුලදී පවසන ලදි.

ඒ අනුව BBC නාලිකාව, ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ තිබෙන "නිවැරදි කිරීම් සහ පැහැදිලි කිරීම්" වෙබ් පිටුවේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් සමාව ඉල්ලා තිබුණි.

BBC ඔස්සේ විකාශය වූ "පැනොරාමා" වැඩසටහන හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔහුගේ පාක්ෂිකයින්ගෙන්, "ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නැයි" සෘජු ඉල්ලීමක් කර ඇති බවට "වැරදි හැඟීමක්" ඇති කළ බවත්, එම වැඩසටහන නැවත ප්‍රදර්ශනය නොකරන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත්, ඒ වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට වන්දි ගෙවීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුගියදා එම සිදුවීම හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ එහි පුවත් අංශයේ ප්‍රධානී ඔවුන්නේ ධුරවලින් ඉල්ලා අස්වුණි.

BBC පුවත් සේවය නොවැම්බර් 14 වැනිදාට පෙර, තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා, සිදුවූ හානියට සරිලන වන්දියක් ගෙවිය යුතු බව ට්‍රම්ප් ජනාධිපතිවරයා සදහන් කළේ ය.

2021 වසරේ ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක්, විකෘති ලෙස සංස්කරණය කර 2024 වසරේදී විකාශය කළ බවට BBC පුවත් සේවයට චෝදනා එල්ල වුණි.