ඉන්දියාවේ ශ්‍රීනගර්හි පොලිස් ස්ථානයක පිපිරීමක්

ජම්මු - කාශ්මීරයේ ශ්‍රීනගර්හි පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 27 දෙනෙකුට තුවාල - විදෙස් මාධ්‍ය

by Staff writer 15-11-2025 | 7:06 AM

COLOMBO (News 1st) - ජම්මු - කාශ්මීරයේ ශ්‍රීනගර්හි පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් 27දෙනෙකු තුවාල ලබා තිබේ.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කර තිබූ ගබඩාවක එම  පිපිරීම සිදුව ඇති අතර ඉන් හටගත් ගින්නෙන් තුවාල ලැබූ පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මියගිය පුද්ගලයින් අතරින් 04දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් බව සඳහන් වේ.

ශ්‍රීනගර් පරිපාලනයේ නිලධාරීන් දෙදෙනෙකු ද මියගිය අය අතරට ඇතුළත් වේ.

පිපිරිම සිදුවූ එම පොලිස් ස්ථානය මගින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්තවාදී සංවිධානය ප්‍රදේශයේ විවිධ ස්ථානවල පෝස්ටර් අලවා තිබීමේ සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

එම විමර්ශනයේදී දැවැන්ත ප්‍රමාණයක පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ ත්‍රස්තවාදී සංවිධානය සමග කටයතු කරන වෛද්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද හැකි වුණි.

දින කිහිපයකට පෙර 13දෙනෙකුට දිවි අහිමි කළ රතු බල කොටුව අසල පිපිරීමටද අදාළ වෛද්‍යවරුනේගේ සම්බන්ධයක් ඇති බවට අණාවරණය වුණේ ඒ අනුවය.

කෙසේ නමුත් අදාළ පොලිස් ස්ථානයේ පිපිරීමට ලක්ව ඇත්තේ අත්අඩංගුවට  ගෙන ගබඩා කළ, පුපුරණද්‍රව්‍ය තොගයක් බව සඳහන් ය.

පිපිරීමට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදි.