දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට මහාධිකරණයෙන් අධි චෝදනා

LPL තරග පාවාදීමට ආරාධනා කළ දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා

by Staff writer 12-11-2025 | 1:56 PM

COLOMBO(News1st) - ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු තමීම් රහමන් මහතා කොළඹ මහාධිකරණයේදී අද අධි චෝදනා භාර දුන්නේය.

නඩුව කැඳවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේයි.

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදා හැරුණු බව කියා සිටියේය.

ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු වන අතර මෙම නඩුව හේතුවෙන් වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවීම නිසා ඔහුගේ පවුලේ කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුද අඩාල වී ඇති බවයි.

ඒ අනුව විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමා නීතිපතිවරයාට වාචිකව හා ලිඛිතව කරුණු සැල කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය පැවසුවේ විත්තිය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවයි.

අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.