රජයේ දෙවැනි අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට

නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය වන රජයේ දෙවැනි අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට..

by Staff writer 07-11-2025 | 9:17 AM

COLOMBO (News 1st) - ජාතික ජන බලවේගය රජයේ දෙවැනි අයවැය අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

එය, නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය වේ..

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු 1.30 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

2026 වසර සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 4,434 ක්.

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත  මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටය.

එම මුදල රුපියල් බිලියන 634 ක්.

ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455 ක් වෙන් කර ඇති අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554ක් වෙන් කර තිබේ.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 301 කි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන් කර තිබේ.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 08 වැනි සෙනසුරාදා සිට 14 වැනි සිකුරාදා දක්වා දින 6ක් පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 14 වැනිදා පස්වරු 6ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 වැනිදා තෙක්, සෙනසුරාදා දින 3ක්ද ඇතුළුව දින 17ක් පැවැත්වීමට නියමිතය.

තුන්වන වර  කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා  පස්වරු 6ට පැවැත්වේ.